ක්‍රිස්තියානි ගුවන් විදුලි මධ්‍යස්ථානයට ඇමතුම දුන් පුද්ගලයා පැවසුවේ ශල්‍යකර්මයකින් පසු තම බිරිඳ රෝහලෙන් නිවසට පැමිණෙන බවයි. ඉන්පසුව ඔහු මගේ හදවතට ගැඹුරින් කථා කළ දෙයක් බෙදා ගත්තේය. “අපේ සභා පවුලේ සෑම කෙනෙක්ම මේ කාලය තුළ අපව රැකබලා ගැනීමට බෙහෙවින් උපකාරී විය”.

මෙම සරල ප්‍රකාශය ඇසූ විට එය ක්‍රිස්තියානි ආගන්තුක සත්කාරයේ සහ රැකවරණයෙහි වටිනාකම හා අවශ්‍යතාවය මට මතක් කර දුන්නේය. ශුභාරංචිය තුළින් ජීවිතය වෙනස් කරන බලය විදහා දැක්වීමට ඇති හොඳම ක්‍රමය වන්නේ සෙසු ඇදහිලිවන්තයන් එකිනෙකා කෙරෙහි දක්වන ප්‍රේමය සහ සහයෝගයයි.

1 පේත්‍රැස් හි අපෝස්තලු වරයා පළමුවන ශත වර්ෂයේ ක්‍රිස්තියානි දේවස්ථාන (දැන් තුර්කිය නමින් හැඳින් වෙන රට) අතර බෙදා හැරීමට ලිපියක් ලියමින් සිටියේය. එම ලිපියෙන් ඔහු තම මිතුරා වූ පාවුල් තුමා රෝම 12:13 හි ලියා ඇති යමක් කිරීමට තම පාඨකයන්ට බල කළේය. “ආගන්තුක සත්කාරයට ලැදිව සිටින්න”. පේත්‍රැස් කීවේ “එකිනෙකා කෙරෙහි බලවත් ප්‍රේමයක් ඇතුව …. ආගන්තුක සත්කාර කරන්න” (1 පේත්‍රැස් 4:8-10) කියාය. සෙසු ඇදහිලිවන්තයන්ට අප සළකන්නේ කෙසේද යන්න පිළිබඳව යේසුස්වහන්සේ තුළ සිටින සියලුම ඇදහිලිවන්තයන්ට මෙය පැහැදිළි මග පෙන්වීමක් වේ.

ඒ ඇමතුම්කරුගේ බිරිඳ වැනි අයව එනම්, සැළකිල්ල අවශ්‍ය හා ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය හා සමාන ප්‍රේමයක් පෙන්වීමට අවශ්‍ය අයව අපි කවුරුත් දන්නෙමු. දෙවියන්වහන්සේගේ ශක්තිය තුළ “බොහෝ සේ උපකාර කරන” යැයි සඳහන් කර ඇති අය අතර අපිත් සිටිමු.