මගේ පියා පැරණි ගීතිකා ගායනා කරන්න ආසයි. ඔහුගේ ප්‍රියතම එකක් වූයේ “උයනේ” යන ගීතිකාවයි. මීට වසර කිහිපයකට පෙර අපි ඔහුගේ අවමංගල්‍යයේදී එය ගායනා කළෙමු. ගායනය ඉතා සරලය. “උන්වහන්සේ මා සමග ඇවිදින සේක. උන්වහන්සේ මා සමග කථා කරන සේක. මම උන්වහන්සේගේ බවත් අපි එහි සිටිනා කාලයේදී බෙදා ගන්නා ප්‍රීතිය වෙන කිසිවෙක් දැන නොසිටින බවත් මට කියන සේක”. එම ගීතය මට මෙන්ම මගේ පියාටද ප්‍රීතියක් ගෙන දුන්නේය.

ගීතිකා රචක සී. ඔස්ටින් මයිල්ස් පවසන්නේ ඔහු මෙම ගීතය ලියා ඇත්තේ 1912 වසන්ත කාලයේදී යොහන් ශුභාරංචියේ 20 වන පරිච්ඡේදය කියවීමෙන් පසුව බවයි. “මම එය කියවන විට මම එම දර්ශනයේ කොටසක් ලෙසට මට හැඟුණි. මරියා සිය ස්වාමින්වහන්සේ ඉදිරියෙහි දණ ගසා, රබ්බෝනි (ගුරුතුමා) යනුවෙන් හඬන විටදී මරියාගේ ජීවිතයේ එම නාට්‍යමය මොහොත ගැන මම නිහඬ සාක්‍ෂිකරුවෙක් බවට පත්වීමි”.

යොහන් 20 හි මග්දලායේ මරියා යේසුස්වහන්සේගේ හිස් සොහොන අසල හඬමින් සිටිනු අප දකින්නෙමු. එහිදී ඇයට එක් මනුෂ්‍යයෙක් මුණ ගැසී ඔහු ඇය හඬන්නේ මන්ද කියා ඇගෙන් අසන්නේය. ඒ උයන බලාගන්නා අය යයි සිතමින් ඇය කථා කළේ උත්ථානවූ ගැළවුම්කරුවාණන් සමගය – යේසුස්! ඇගේ ශෝකය ප්‍රීතියට හැරුණු අතර “මම ස්වාමින්වහන්සේ දුටුවෙමි” කියා ගෝලයන්ට පැවසීමට දිව ගියාය (18 පදය).

යේසුස්වහන්සේ උත්ථාන වූ බවට අපටද සහතිකයක් ඇත. උන්වහන්සේ දැන් පියාණන් වහන්සේ සමග ස්වර්ගයේ සිටින සේක. නමුත් උන්වහන්සේ අපව තනිවම සිටින්න හැරියේ නැත. ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිලිවන්තයන් තුළ උන්වහන්සේගේ ආත්මය ඇති අතර උන්වහන්සේ මගින් උන්වහන්සේ අප සමගය යන සහතිකය සහ දැනගැන්මේ ප්‍රීතිය අපට ඇත්තේය. එසේම අපි “උන්වහන්සේගේ” වෙමු.