ජෝර්ඡ් වයිට් ෆිල්ඩ් (1714-1770) ඉතිහාසයේ වඩාත්ම දක්‍ෂ හා ඵලදායී දේශකයන්ගෙන් කෙනෙක් වූ අතර දහස් ගණනක් යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරා ගෙන ගියේය. එහෙත් ඔහුගේ ජීවිතය මතභේදයන්ගෙන් තොරව නොපැවතුණි. එනම් එළිමහනේ දේශනා කිරීමේ පුරුද්ද (විශාල පිරිසකට සහභාගී විය හැකි) සමහර විට බොහෝ දෙනෙක්ගේ විවේචනයට ලක් වුණි. ඔව්හු ඔහුගේ චේතනාවන් ගැන ප්‍රශ්න කරමින් ඔහු කථා කළ යුත්තේ දේවස්ථානයක බිත්ති හතර තුල පමණක් යයි සිතූහ. වයිට්ෆීල්ඩ්ගේ ස්මාරකයක සටහන් කර තිබුණු දෙයින් අන් අයගේ කටුක වචන වලට ඔහු දැක්වූ ප්‍රතිචාරය පිළිබඳ ආලෝකයක් විහිදුවයි. “මගේ චරිතය නිරවුල් කිරීම සඳහා විනිශ්චය දිනය තෙක් බලා සිටීමෙන් මම සෑහීමකට පත් වෙමි. මා මිය ගිය පසු මේ හැර වෙනත් කිසිදු අනුස්මරණ වැකියකට මා කැමති නැත. ‘ජෝර්ඡ් වයිට්ෆීල්ඩ් කොයි ආකාරයේ මනුෂ්‍යයෙක්ද කිය විනිශ්චය දවසේදී සොයා ගැනේ’”.

පරණ ගිවිසුමේ දාවිත් අන් අයගෙන් දැඩි විවේචනවලට මුහුණ දුන් විට ඔහුද දෙවියන්වහන්සේට තමාව භාර දුන්නේය. තමන්ට විරුද්ධව දාවිත් කැරැල්ලක් මෙහෙයවූ බවට සාවුල් රජු ඔහුට බොරු චෝදනා එල්ල කළ විට සහ සාවුල්ගේ සේනාවන්ගෙන් බේරීම සඳහා ගුහාවක සැඟවී සිටීමට සිදුවූ විට, දාවිත් විස්තර කළේ තමා “සිංහයන් අතරෙහිය” කියා සහ “හෙල්ල සහ ඊගස් වැනි දත්ද තියුණු කඩුවක් වැනි දිච්ද ඇති මනුෂ්‍යයන් අතරෙහි” (ගීතාවලිය 57:4) සිටින බවයි. එහෙත් එම දුෂ්කර ස්ථානයේදී පවා ඔහු දෙවියන්වහන්සේ වෙතට හැරී උන්වහන්සේගෙන් සැනසීම ලබා ගත්තේය. “මක්නිසාද ඔබගේ කරුණාව අහස දක්වාද ඔබගේ සැබෑකම වළාකුල් දක්වාද විශාලව තිබේ” (10 පදය).

අන් අය අපව වරදවා වටහා ගත් විට හෝ ප්‍රතික්‍ෂේප කළ විට හෝ දෙවියන්වහන්සේ අපගේ “රක්‍ෂාස්ථානය” වන සේක (1 පදය). උන්වහන්සේගේ අසීමිත හා දයානුකම්පිත ප්‍රේමය නිසා උන්වහන්සේට සදහටම ප්‍රශංසා වේවා.