ජේසන්ගේ දෙමාපියන් ඔහුව ඒමිට භාර දෙන විට ඔහු හඬා වැළපුණේය. ඒ මව සහ පියා දේව මෙහෙයට සහභාගී වෙද්දී අවුරුදු දෙකක් වයසැති ජේසන්ව ළමුන් සඳහා වෙන් කරන ලද ස්ථානයට භාර දුන් පළමු වතාව එය වීම නිසාය. ඔහු එයට සතුටු වුනේ නැත. ඔහු හොඳින් සිටීවි කියා ඒමි ඔවුන්ට පොරොන්දු වූවාය. ඇය සෙල්ලම් බඩු සහ පොත් වලින් ඔහුව සනසන්න උත්සාහ කළාය. ඔහුව පුටුවක තියා පද්දවමින්ද, ඇවිදිමින්ද, නිශ්චලව සිටිමින්ද ඔහුට කෙතරම් විනෝද විය හැකිද කියා කියමින්ද ඔහුව සනසන්න උත්සාහ කළාය. නමුත් මේ සෑම දෙයක්ම අවසන් වූයේ විශාල කඳුළු වලින් සහ ශබ්ද නගා හැඬීමෙනි. ඉන්පසු ඇය ඔහුගේ කණට කොඳුරා සරල වචන කිහිපයක් කීවාය. “මම ඔබ ළඟ ඉන්නවා”. සාමය සහ සැනසීම ඉක්මණින් පැමිණියේය.

යේසුස්වහන්සේ කුරුසියේ ඇණ ගසනු ලැබූ සතියේදී තම මිතුරන්ට ඒ හා සමාන සැනසිලිදායක වචන කී සේක. “පියාණන් වහන්සේ නුඹලා සමග සදාකල්ම සිටින පිණිස සැනසිලිකාරයෙකු නුඹලාට දෙන සේක. ඒ සැනසිලිකාරයාණෝ සත්‍යතාවේ ආත්මයාණන්වහන්සේය” (යොහන් 14:16-17). උන්වහන්සේගේ උත්ථානයෙන් පසු උන්වහන්සේ ඔවුන්ට මෙම පොරොන්දුව දුන් සේක. “මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමග සිටිමි” (මතෙව් 28:20). යේසුස්වහන්සේ ඉතා ඉක්මණින් ස්වර්ගයට යෑමට නියමිතව තිබුණි. නමුත් උන්වහන්සේගේ සෙනග තුළ ජීවත්වීමට උන්වහන්සේ ආත්මයාණන් වහන්සේව එවන සේක.

අපගේ කඳුළු ගළා ගෙන යද්දී ආත්මයාණන්වහන්සේගේ සැනසීම සහ සාමය අපි අත්දකින්නෙමු. අපි කළ යුත්තේ කුමක්ද කියා කල්පනා කරන විට අපට උන්වහන්සේගේ මග පෙන්වීම ලැබේ (යොහන් 14:26). දෙවියන්වහන්සේ ගැන තවත් දැන ගැනීමට උන්වහන්සේ අපගේ ඇස් විවර කරන සේක (එපීස 1:17-20). එසේම අපගේ දුර්වලකමේදී අපට උපකාර කර අප උදෙසා යාච්ඤා කරන සේක (රෝම 8:26-27).

උන්වහන්සේ සදාකල්ම අප සමග සිටින සේක.