සුවය නොලැබීමට තරම් අසනීප යැයි සිතමින් රඩමෙනෙස් නම්වූ පූස් පැටියාගේ හිමිකරු ඔහුව සත්ව නවාතැනකට භාර දුන්නේය. පූස් පැටවාට සාත්තු කිරීමෙන් පසු සුවවූ ඌව පශු වෛද්‍යවරයා හදා ගත්තේය. පසුව ඔහු නවාතැනේ පූර්ණ කාලීන පදිංචිකරුවෙකු බවට පත්වූ අතර දැන් ඔහුගේ දවස ගෙවෙන්නේ ශල්‍ය කර්මයකින් හෝ අසනීපයකින් සුවය ලැබීමට පැමිණෙන බළලුන් සහ බල්ලන්ගේ සැනසිලිදායකයෙකු ලෙසයි. එනම් ඔහුගේ උණසුම් අභිමුඛයෙන් සහ මෘදු ප්..ර්..ර් හඬිනි.

එම කථාව අපගේ ප්‍රේමණීය දෙවියන්වහන්සේ අප වෙනුවෙන් කරන දේ සහ අපට අන් අයට කළ හැකි දේ පිළිබඳව දැක්වෙන කුඩා චිත්‍රයකි. අපගේ අසනීප සහ අරගලවලදී උන්වහන්සේ අප ගැන සළකන අතර උන්වහන්සේගේ අභිමුඛයෙන් උන්වහන්සේ අපව සනසන සේක. 2 කොරින්ති හි පාවුල් තුමා අපගේ දෙවියන්වහන්සේව හඳුන්වන්නේ “දයාබර කරුණාවල පියවූද සෑම සැනසිල්ලේ දෙවිවූද” (1:3) යනුවෙනි. අප අධෛර්්‍යයට පත්වූ විට, මානසික අවපීඩනයෙන් පෙළෙන විට හෝ අයුතු ලෙස සැළකීම් ලබන විට උන්වහන්සේ අප සමග සිටින සේක. අප යාච්ඤාවෙන් උන්වහන්සේ වෙත හැරෙන විට “අපේ සියලු පීඩාවලදී අපව සනසන සේක” (4 පදය).

නමුත් 4 වන පදය එතැනින් අවසන් වන්නේ නැත. දැඩි දුක් වේදනා අත් විඳ ඇති පාවුල් තවදුරටත් මෙසේ පවසයි. ”අපි දෙවියන්වහන්සේගෙන් යම් සැනසිල්ලක් ලැබුවෙමුද ඒ සැනසිල්ල කරණකොට ගෙන කොයි පීඩාවක් නමුත් විඳින්නනන් සනසන්නට අපට පුළුවන් වන්නේය”.

අප වෙනුවෙන් දුක් විඳි අපගේ දයාබර ගැළවුම්කරුවාණන්ට අපගේ දුක් වේදනාවලින් අපව සැනසීමට පූර්ණ හැකියාවක් තිබේ (5 පදය). අපගේ වේදනාවන්වලදී උන්වහන්සේ අපට උපකාර කරන අතර අන් අයටත් එසේ කිරීමට අපව සන්නද්ධ කරන සේක.