සමහර විට දරුවන්ගේ වචන දෙවියන්වහන්සේගේ සත්‍යය පිළිබඳ ගැඹුරු අවබෝධයක් කරා අපව තල්ලු කර දමයි. එක් සන්ධ්‍යාවක මාගේ දියණිය කුඩා කාලයේදී ක්‍රිස්තියානි ඇදහිල්ලේ එක් අභිරහසක් ගැන මම ඇයට පැවසුවෙමි. එනම් දෙවියන්වහන්සේ තම පුත්‍රයාණන් සහ ආත්මයාණන් කරණකොට ගෙන තමන්වහන්සේගේ දරුවන් තුළ වාසය කරන බවයි. මම ඇයව ඇඳ මත තබද්දී යේසුස්වහන්සේ ඇය සමගත් ඇය තුළත් සිටින බව කීවෙමි. “උන්වහන්සේ මගේ බඩේද?” ඇය ඇසුවාය. “හොඳයි, ඔබ උන්වහන්සේව ගිල දමා නැහැනේ” මම පිළිතුරු දුන්නෙමි. “නමුත් උන්වහන්සේ ඔබ තුළ සිටින සේක”.

මගේ දියණියගේ ව්‍යවාහරික කියමන වන යේසුස්වහන්සේ “ඇගේ බඩේද?” කියා ඇසු විටදී මා මොහොතකට නතර වී, මාගේ ගැළවුම් කරුවාණන් වන ලෙසට යේසුස්වහන්සේගෙන් ඉල්ලා සිටි විට උන්වහන්සේ පැමිණ මා තුළ වාසය කළේ කෙසේදැයි මම සළකා බැලුවෙමි.

“ඇදහිල්ල කරණකොට ගෙන ක්‍රිස්තුස්වහන්සේ ඔවුන් තුළ ජීවත් වන පිණිස” (එපීස 3:17) ආත්මයාණන් වහන්සේ විසින් එපීසියේ ඇදහිලිවතුන් ශක්තිමත් කරන ලෙසට යාච්ඤා කරමින් අපෝස්තලු පාවුල් මෙම අභිරහස ගැන සඳහන් කළේය. යේසුස්වහන්සේ ඔවුන් තුළ ජීවත් වෙද්දී උන්හන්සේ ඔවුන්ට කෙතරම් ගැඹුරින් ප්‍රේම කළාද කියා ඔවුන්ට වටහා ගැනීමට හැකි වුණි. මෙම ප්‍රේමයෙන් ජ්වලිතව ඔවුන්ට ඇදහිල්ලෙන් පරිණත වී අන් අයට ප්‍රේම කරමින් නිහතමානීව සහ මෘදුකමින් සත්‍ය කථා කළ හැකි වන්නේය (4:2, 25).

යේසුස්වහන්සේ තම අනුගාමිකයන් තුළ වාසය කරන්නේය යන්නෙන් අදහස් කරන්නේ තම ජීවිතවලට උන්වහන්සේව පිළිගත් අය කෙරෙන් උන්වහන්සේගේ ප්‍රේමය කිසි විටෙකත් නැති නොවන බවයි. දැනුම ඉක්මවා යන උන්වහන්සේගේ ප්‍රේමය (3:19) උන්වහන්සේ කෙතරම් ගැඹුරින් අපට ප්‍රේම කරනවාද යන්න දැන ගැනීමට උපකාර කරමින් උන්වහන්සේ තුළට අපව මුල් ඇද තබයි.

දරුවන් සඳහා ලියා ඇති වචන වලින් එය වඩාත් හොඳින් කිව හැකිය. “ඔව්, යේසුස් මට ආදරෙයි”.