තම දරුවාව හදාවඩා ගැනීමේ නිත්‍යානුකූල බැඳීම පෙන්නුම් කරන ඇයගේ උප්පැන්න සහතිකය සහ විදේශ ගමන් බලපත්‍රය ලැබුණු විට ලිස් ප්‍රීතියෙන් කෑ ගැසුවාය. දැන් මිලේනා ඔවුන්ගේ පවුලේ කොටසක් වෙමින් සෑම විටම ඔවුන්ගේ දියණිය වනු ඇත. නීතිමය ක්‍රියාදාමය ගැන ලිස් මෙනෙහි කරන විට අප යේසුස් වහන්සේගේ පවුලේ සාමාජිකයෙක් වන විට සිදුවන “සැබෑ හුවමාරුව” ගැනද සිහිපත් කළාය. “පාපය හා බිඳවැටීම පිළිබඳ” අපගේ උප්පැන්න අයිතියෙහි තවදුරටත් අප රැඳී නොසිටින්නෙමු. ඇය තවදුරටත් කියා සිටියේ ඒ වෙනුවට අපි උන්වහන්සේගේ දරුවන් ලෙසට හදා වඩා ගන්නා විට අපි නිත්‍යානුකූලව දේව රාජ්‍යයේ පූර්ණත්වයට ඇතුළත් වන බවයි.

අපෝස්තලු පාවුල්ගේ කාලයේදී රෝම පවුලක් පුතෙකු හදාවඩා ගන්නේ නම් ඔහුගේ නීතිමය තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වනු ඇත. ඔහුගේ පැරණි ජීවිතයේ සෑම ණයක්ම අවලංගු වන අතර ඔහු තම නව පවුලේ සියලු අයිතිවාසිකම් සහ වරප්‍රසාද ලබා ගනී. මෙම නව තත්ත්වය යේසුස්වහන්සේ තුළ සිටින රෝම ඇදහිලිවන්තයන්ටද අදාළ වන බව ඔවුන්ට තේරුම් කිරීමට පාවුල් තුමාට අවශ්‍ය විය. තවදුරටත් ඔවුන් පාපයට සහ දඬුවමට බැඳී නොසිටින අතර දැන් ඔවුන් ජීවත් වන්නේ “ආත්මයට අනුවය” (රෝම 8:4). ආත්මයාණන් විසින් ගෙන යනු ලබන අය දෙවියන්වහන්සේගේ දරුවන් ලෙස පිළිගනු ලැබේ (14-15 පද). ඔවුන් ස්වර්ගයේ පුරවැසියන් බවට පත්වන විට ඔවුන්ගේ නීතිමය තත්ත්වය වෙනස් වේ.

අපට ගැළවීමේ ත්‍යාගය ලැබී ඇත්නම් අපිත් දෙවියන්වහන්සේගේ දරුවන්ව, උන්වහන්සේගේ රාජ්‍යයේ උරමක්කාරයන්ව ක්‍රිස්තුස්වහන්සේ සමග එක්සිත්ව සිටිමු. යේසුස්වහන්සේගේ පූජාව නිසා අපේ ණය අවලංගු වී තිබේ. අපට තවදුරටත් බියෙන් හෝ හෙළා දැකීමෙන් ජීවත් වීමට අවශ්‍ය නැත.