2019 දී කඳු නගින්නෙකු එවරස්ට් කන්ද මුදුනේ සිට ඔහුගේ අවසන් හිරු උදාව දුටුවේය. ඔහු භයානක නැගීමෙන් දිවි ගළවා ගත් නමුත් උච්චස්ථානය ඔහුගේ හදවත තද කළ නිසා නැවත පහළට එන ගමනේදී ඔහු මිය ගියේය. එක් වෛද්‍ය විශේෂඥයෙක් කියා සිටියේ කඳු මුදුන ඔවුන්ගේ ගමනේ අවසානය ලෙස නොසිතන ලෙසයි. “ඔවුන් මරණ කලාපයේ” සිටින බව මතක තබා ගෙන නැවතත් පහළට බැසිය යුතු බව වෛද්‍යවරයා පැවසීය.

දාවිත් භයානක නැග්මේ ඉහළටම යාමට සමත් වූයේය. ඔහු සිංහයන් සහ වලසුන් මරා, ගොලියත් කපා දමා, සාවුල්ගේ හෙල්ලය සහ හඹා එන හමුදාව මගහැර, පිලිස්තිවරු සහ අම්මොන්වරු යටත් කර කන්දෙහි රජ වීමට සමත් වූයේය.

නමුත් තමා මරණ කලාපයේ සිටින බව දාවිත්ට අමතක විය. ඔහුගේ සාර්ථකත්වයේ උච්චතම අවස්ථාව වන විට “දාවිත් ගිය ගිය තැනදී ස්වාමින්වහන්සේ ඔහුට ජය දුන් සේක” (2 සාමුවෙල් 8:6). නමුත් ඔහු පරදාර සේවණය හා මිනීමැරීම සිදු කළේය. ඔහුගේ ආරම්භක වැරැද්ද? ඔහු කඳු මුදුනේ රැඳී සිටියේය. ඔහුගේ හමුදාව නව අභියෝග සඳහා පිටත් වූ විට ඔහු “යරුසලමේ රැඳී සිටියේය” (11:1). දාවිත් වරක් ගොලියත් සමග සටන් කිරීමට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් විය. දැන් ඔහු සිය ජයග්‍රහණවල සම්මානයට ලක් වී විශ්‍රාමය සෙවීය.

දෙවියන්වහන්සේ ඇතුළු සියල්ලන්ම අප විශේෂ යයි පවසන විට අපට නිහතමානී වීමට අපහසුය (7:11-16). නමුත් අපි එසේ විය යුතු වන්නෙමු. අපි යම් සාර්ථකත්වයක් ලබා ගෙන තිබේ නම් එය නිසි ලෙස සමරමින් සුභ පැතුම් පිළිගත යුතු වන්නෙමු. එහෙත් අපි දිගටම ගමන් කළ යුතු වන්නෙමු. අප ඉන්නේ මරණ කලාපයේය. කන්දෙන් පහළට එන්න. ඔබේ හදවත සහ ඔබේ පියවර ආරක්‍ෂා කරන ලෙස දෙවියන් වහන්සේගෙන් ඉල්ලමින් මිටියාවතේදී නිහතමානීව අන් අයට සේවය කරන්න.