සැළකිලිමත් පුරවැසියෙකුගෙන් ලැබුණු 911 දුරකථන ඇමතුමෙන් පසුව දුම්රිය මාර්ගයේ යකඩ පීලි මත තිබූ රථය දකින තුරු පොලිස් නිලධාරියෙක් විදුලි පන්දම දල්වා ගෙන දුම්රිය මාර්ගය දිගේ ගියේය. මෝටර් රථය දෙසට දුම්රියක් ගමන් කරන සිත් කම්පා කරවන දර්ශනය පොලිස් නිලධාරියාගේ උපකරණ පුවරුවේ තිබූ කැමරාවේ සටහන් වී තිබුණි. “ඒ දුම්රිය වේගයෙන් එනවා. පැයට සැතපුම් පනහක හෝ අසූවක වේගයකින්” පොලිස් නිලධාරියා කීවේය. ඉතා ඉක්මණින් ක්‍රියා කළ පොලිස් නිලධාරියා දුම්රිය මෝටර් රථයේ ගැටීමට තත්පර කිහිපයකට පෙර සිහිසුන් මිනිසාව රථයෙන් පිටතට ඇද ගත්තේය.

සියලු දේම නැති වී ඇතැයි සිතෙන අවස්ථාවන්වලදී ගළවා ගන්නා තැනැත්තා දෙවියන්වහන්සේ බව දේව වචනය පෙන්වා දෙන්නේය. ඊජිප්තුවේ කොටුවී හුස්ම හිරවී යන තරමට පීඩාවන්ට ලක්ව සිටි ඉශ්‍රායෙල් ජාතියට එතැනින් පැන යාමට හිතන්නවත් පුළුවන් කමක් නොතිබුණි. කෙසේ වෙතත් නික්මයාම පොතෙහි දෙවියන්වහන්සේ ඔවුන්ට බලාපොරොත්තුවේ වචන ඉදිරිපත් කරනවා අපි දකින්නෙමු. “මිසරයේ වසන මාගේ සෙනගගේ පීඩාව සැබවින්ම දුටිමි. ඔවුන්ගේ මොර ගැසීම ඇසීමි…. මක්නිසාද ඔවුන්ගේ දුක දනිමි” (නික්මයාම 3:7) කියා දෙවියන්වහන්සේ කියන සේක. දෙවියන්වහන්සේ දුටුවා පමණක් නොව උන්වහන්සේ ක්‍රියා කළ සේක. “ඔවුන් නිදහස් කර …… පමුණුවන්නට බැස්සෙමි” (8 පදය). දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල් වරුන්ව වහල් බවින් මුදවා ගත් සේක. මෙය දිව්‍යමය ගළවා ගැනීමකි.

දෙවියන්වහන්සේ ඉශ්‍රායලය ගළවා ගැනීමෙන් පෙන්වන්නේ අවශ්‍යතාවලින් සිටිනා අප සියලු දෙනාටම උපකාර කරන දෙවියන්වහන්සේගේ හදවත සහ උන්වහන්සේගේ බලයයි. දෙවියන්වහන්සේ පැමිණ අපව ගළවා නොගන්නේ නම් විනාශය කරා යාමට සිටින අපට උන්වහන්සේ උපකාර කරන සේක. අපගේ තත්ත්වය දරුණු හෝ අපහසු එකක් හෝ වූවත් අපව ගළවා ගැනිමට ආදරයෙන් බලා සිටින තැනැත්තා වෙතට අපගේ ඇස් සහ හදවත එසවිය හැකිය.