ත්වෑක්! මම ශබ්දය දෙසට හිස හරවා හොඳින් සවන් දුනිමි. ජනේල වීදුරුවේ පැල්ලමක් දුටු මම පිටතට එබී බැලූ විට තවමත් පණ තිබෙන කුරුල්ලෙකුගේ සිරුර සොයා ගතිමි. මගේ හදවත වේදනාවට පත්වුණි. මෙම පිහාටු තිබෙන සත්ත්වයට උපකාර කිරීමට මම ආශාවෙන් සිටියෙමි.

ඉදිරියේදී පැමිණෙන අනතුරු ගැන දැනුම් දෙමින් ගෝලයින් සනසාලීම සඳහා ගේ කුරුල්ලන් ගැන උන්වහන්සේගේ පියාණන් වහන්සේ දක්වන සැළකිල්ල මතෙව් 10 හි යේසුස්වහ්න්සේ විස්තර කරන සේක.
“අශුද්ධ ආත්මයන් දුරුකරන්ට ඔවුන් කෙරෙහිද සියලු ආකාර ලෙඩ සහ සියලු ආකාර රෝග සුව කිරීමටද ඔවුන්ට බලය දෙමින්” (1 පදය) උන්වහන්සේ ගෝලයන් දොළොස් දෙනාට උපදෙස් දුන් සේක. එවැනි ක්‍රියාවන් කිරීමේ බලය ගෝලයන්ට උතුම් යැයි පෙනෙන්ට තිබුණ හෙයින් පාලක බලධාරීන්ද ඔවුන්ගේම පවුල් සහ නපුරාගේ ග්‍රහණය ඇතුළුව බොහෝ දෙනෙක්ද ඔවුන්ට විරුද්ධ විය හැකිය (16-28 පද).

මතෙව් 10:29-31 දක්වා යේසුස්වහන්සේ ඔවුන්ට පැවසුවේ ඔවුන්ගේ පියාණන්ගේ රැකවරණයෙන් ඔවුන් කිසි විටෙකත් බැහැර නොවන නිසා ඔවුන් මුහුණ දෙන කිසිවකට බිය නොවන්න කියාය. “ගේකුරුල්ලන් දෙදෙනෙකු ශතයකට නොවිකුණද්ද? එහෙත් උන්ගෙන් එකෙක්වත් නුඹලාගේ පියාණන්වහන්සේ නොදැනුවත්ව බිම වැටෙන්නේ නැත…..එබැවින් භය නොවන්න. නුඹලා බොහෝ ගේ කුරුල්ලන්ට වඩා වටින්නහුය” කියා උන්වහන්සේ කී සේක.

මම දවස පුරාම කුරුල්ලා දෙස විමසිල්ලෙන් බලා සිටියෙමි. ඌට පණ තිබුණද ශරීරයේ සෙලවීමක් නොවුනි. සවස් වන විට ඔහු ගොසිනි. ඔහු ජීවත්වන ලෙසට මම යාච්ඤා කළෙමි. ඇත්තෙන්ම මම මේ කුරුල්ලා ගැන මේ තරම් සැලකිල්ලක් දැක්වූයේ නම් දෙවියන්වහන්සේ ඊටත් වඩා සළකන සේක. උන්වහන්සේ ඔබ සහ මා ගැන කොතරම් සැලකිල්ලක් දක්වනවාදැයි සිතා බලන්න.