කතුවරියක් සහ ඉවැන්ජලිස්තවරියක් වන බෙකී පීපර්ට් අයර්ලන්තයේ ජීවත් වූ කාලයේදී වසර දෙකක් පුරාවටම ඇයගේ නිය අලංකරණයේ යෙදුණු හෙදර් සමග ශුභාරංචිය බෙදා ගැනීමට ආශාවෙන් සිටියාය. නමුත් හෙදර් තුළ උනන්දුවක් නොතිබුණි. සංවාදයක් ආරම්භ කිරීමට නොහැකි යැයි හැඟුණු බෙකී හෙදර්ව හමුවීමට පෙර යාච්ඤා කළාය.

හෙදර් ඇයගේ නියපොතු පිටිසිදු කරමින් සිටින අතරතුරදී බෙකී පැරණි සඟරාවක් පෙරළා එහි තිබූ නිරූපිකාවකගේ ඡායාරූපයක් දෙස බලා සිටියාය. ඇය දෙස මෙතරම් ඕනෑකමෙන් බලන්නේ මන්දැයි හෙදර් ඇසූ විට එම ඡායාරූපයේ සිටින නිරූපිකාව වසර ගණනාවකට පෙර වෝග් ආවරණ නිරූපිකාවක් වූ බවත් ඇය තමාගේ සමීප මිතුරියක් බවත් බෙකී කීවාය. තම මිතුරිය දෙවියන්වහන්සේගේ ඇදහිල්ලට පැමිණීම සම්බන්ධ සමහර කථා කිහිපයක් බෙකී බෙදා ගත් අතර හෙදර් එයට හොඳින් සවන් දුන්නාය.

බෙකී සංචාරයක් සඳහා පිටත්ව ගොස් නැවත අයර්ලන්තයට පැමිණී විට හෙදර් වෙනත් ස්ථානයකට ගොස් ඇති බව දැන ගත්තාය. “ශුභාරංචිය බෙදා ගැනීමට අවස්ථාවක් ලබා දෙන ලෙස මම දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටි අතර උන්වහන්සේ එය ඉටු කළ සේක” යනුවෙන් බෙකී ආවර්ජනය කළාය.

අපෝස්තලු පාවුල්ගේ ආදර්ශයෙන් ප්‍රබොධමත් වූ බෙකී ඇගේ දුර්වලකම් වලදී උපකාරය සඳහා දෙවියන් වහන්සේ දෙස බැලීය. පාවුල් දුර්වල වූ විට මාංසයේ කටුව ඉවත් කරන ලෙසට දෙවියන්වහන්සේගෙන් අයැද සිටියේය. ස්වාමින්වහන්සේ පැවසුවේ “මාගේ කරුණාව නුඹට සෑහේය. මක්නිසාද දුර්වලකමේදී මාගේ බලය සම්පූර්ණවන්නේය” (2 කොරින්ති 12:9) යනුවෙනි. ලොකු හා කුඩා සෑම දෙයකදීම දෙවියන්වහන්සේ කෙරෙහි යැපීමට පාවුල් ඉගෙන ගත්තේය.

අප අවට සිටින අයට ප්‍රේම කිරීමට උපකාර වන ලෙසට අප දෙවියන්වහන්සේ මත යැපෙන විට අපගේ ඇදහිල්ල නිවැරදිව බෙදා ගැනීමට අපටද අවස්ථාවන් ලැබෙනු ඇත.