එක්සත් ජනපද ජනාධිපති ෆ්‍රෑන්ක්ලීන් ඩී. රූස්වෙල්ට් පිළිගැනීමට බොහෝ විට ධවල මන්දීරයේ බොහෝ අය පෙළ ගැසී සිටි අතර ඔහු එය විඳ දරා ගත්තේය. කථාවේ දැක්වෙන පරිදි එතුමා පවසන දේ ගැන කිසිවෙක් අවධානය යොමු කළේ නැති බවට ඔහු පැමිණිළි කළේය. එබැවින් පිළිගැනීමේ උත්සවයකදී එය අත්හදා බලන්න ඔහු උත්සාහ කළේය. පේළිය පසුකර යමින් අතට අත දෙද්දී “මම අද උදේ මගේ ආච්චිව ඝාතනය කළා” කියා සෑම කෙනෙක්ටම ඔහු කිවේය. අමුත්තන් ප්‍රතිචාර දැක්වූයේ “ඉතා හොඳයි!” “ඔබ කරන හොඳ වැඩ කර ගෙන යන්න. දෙවියන්වහන්සේ ඔබට ආශිර්වාද කරයි සර්” යනාදී වාක්‍ය ඛණ්ඩයන්ගෙනි. නමුත් අවසානයට සිටි බොලිවියානු තානාපතිවරයාට සුභ පතන අවස්ථාවේදී සැබවින්ම එම වචන ඇසුණේ ඔහුට පමණී. පුදුමයට පත්ව තානාපතිවරයා ජනාධිපතිවරයාගේ කණට කොඳුරා “ඇය මෙම අවස්ථාව එනතුරු බලා සිටින්න ඇති කියා මට විශ්වාසයි” කියා කීවේය.

මිනිසුන් සැබවින්ම සවන් දෙනවාදැයි ඔබ කවාදා හෝ සිතුවාද? නැත්නම් ඊටත් වඩා භයානක දෙය නම් දෙවියන්වහන්සේ සවන් නොදෙන බවට ඔබ බිය වන්නේද? මිනිසුන්ගේ ප්‍රතිචාර හෝ බලන ආකාරය හෝ අනුව මිනිසුන් සවන් දෙනවාදැයි අපට පැවසිය හැකිය. නමුත් දෙවියන්වහන්සේ සවන් දෙනවාදැයි අප දැන ගන්නේ කෙසේද? අපි හැඟීම් මත රඳා සිටිය යුතු වෙම්ද? නැත්නම් දෙවියන්වහන්සේ අපේ යාච්ඤාවන්ට පිළිතුරු දේවි යයි බලා සිටිය යුතුද?

බබිලෝනියේ වහල් භාවයෙන් වසර හැත්තෑවකට පසු තම සෙනගව නැවත යෙරුසලටම ගෙනැවිත් ඔවුන්ගේ අනාගතය සුරක්‍ෂිත කරන බවට දෙවියන්වහන්සේ පොරොන්දු වූ සේක (යෙරෙමියා 29:10-11). ඔවුන් උන්වහන්සේට යාච්ඤා කළ විට උන්වහන්සේ ඔවුන්ට ඇහුම්කන් දුන් සේක (12 පදය). දෙවියන්වහන්සේ ඔවුන්ගේ යාච්ඤාවලට ඇහුම්කන් දෙනවා කියා ඔවුන් දැන සිටියේ උන්වහන්සේ ඇහුම්කන් දෙන බවට පොරොන්දුවක් දී තිබුණ නිසාවෙනි. අපටත් එය එසේමය (1 යොහන් 5:14). දෙවියන්වහන්සේ අපට ඇහුම්කන් දෙන බව දැනගැනීමට අපට හැඟීම් මත රඳා සිටීමට හෝ ලකුණක් එනතෙක් බලා සිටීමට හෝ අවශ්‍ය නැත. උන්වහන්සේ ඇහුම්කන් දෙන බවට පොරොන්දු වී ඇති අතර උන්වහන්සේ සෑම විටම තම පොරොන්දු ඉටු කරන සේක (2 කොරින්ති 1:20).