මීට වසර කිහිපයකට පෙර එක් සැන්දෑවක මමත් මගේ බිරිඳත් මිතුරන් දෙදෙනෙකු සමග කඳුකර මාවතක පහළට ගමන් කරමින් සිටියෙමු. බෑවුම වටා මාර්ගය පටු වූ අතර එක් පැත්තක තද බෑවුමක් සහ අනෙක් පැත්තෙන් උඩට නැගිය නොහැකි පවුරකි.

අපි වංගුවක් වටේට එන විට විශාල වලසෙක් ඔහුගේ හිස දෙපැත්තට වනමින් වැරෙන් හුස්ම හෙළමින් ගමන් කරනවා මම දුටුවෙමි. අපි සුළඟෙ දිසාවට ප්‍රතිවිරුද්ධව සිටි නිසා ඔහුට අප සිටින බවක් නොදැනුනත් ඉක්මණින්ම ඔහු අපිව දකිනවා ඇත .

මගේ මිතුරිය ඇගේ කබා සාක්කුවේ කැමරාව සොයන්න පටන් ගත්තාය. “ඕ, මම ඡායාරූපයක් ගත් යුතුයි” ඇය කීවාය. මෙම අවස්ථාව යහපත් නොවූ නිසා “නැහැ අපි මෙතැනින් ඉවත් විය යුතුයි” කියා මම කීවෙමි. නොපෙනී යන තුරුම අපි පසු බැස්සෙමු. ඉන්පසු දුවන්න පටන් ගත්තෙමු.

ධනවත් වීමට ඇති භයානක ආශාව ගැන අපට හැඟිය යුත්තේ එලෙසයි. මුදල්වල වරදක් නැත. එය හුවමාරු මාධ්‍යයක් පමණී. නමුත් ධනවත් වීමට දැඩි කැමැත්තක් දක්වන අය “පරීක්‍ෂාවකද, මළපතකද මනුෂ්‍යයන් නාස්තියෙත් විනාශයෙත් ගිල්වන්නාවූ අඥානවූ, අන්තරාය සහිත බොහෝ තෘෂ්ණාවලද වැටෙන්නෝය” (1 තිමෝති 6:9) කියා පාවුල් ලියයි. වස්තුව යනු තව තවත් ලබා ගැනීම සඳහා අපව පොළඹවන තෘෂ්ණාවකි.

ඒ වෙනුවට අපි “ධර්මිෂ්ඨකමද භක්තිවන්තකමද ඇදහිල්ලද ප්‍රේමයද ස්ථ’රකමද මොළොක් ගුණයද පස්සේ යා යුතු වෙමු” (11 පදය). අපි මෙම ගති ලක්‍ෂණ ලුහුබැඳ යමින් ඒවා අප තුළ වර්ධනය කරන ලෙස දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටින විට ඒවා අප තුළ වර්ධනය වන්නේය. දෙවියන්වහන්සේ තුළ අපි සොයන ගැඹුරු තෘප්තිය අපට ලබා ගත හැක්කේ මෙලෙසිනි.