ලියෝ ටොල්ස්ටෝයි විසින් රචිත “පවුල් සතුට” නව කථාවේ ප්‍රධාන චරිත වන සර්ජි සහ මාෂා හමුවන්නේ මාෂා තරුණ හා පහසුවෙන් නතු කර ගැනීමට හැකිවූ කාලයකය. සර්ජි යනු මාෂා ජිවත් වන ග්‍රාමීය පසුබිමෙන් ඔබ්බට ලෝකය වටහා ගත් හොඳින් සංචාරය කළ ව්‍යාපාරිකයෙකි. කාලයාගේ ඇවෑමෙන් දෙදෙනා ආදරයෙන් වෙළී විවාහ වූහ.

ඔව්හු ගම්බද ප්‍රදේශයක පදිංචි වූ අතර මාෂා ඇගේ වටාපිටාව ගැන සෑහීමකට පත් වූයේ නැත. ඇයට බොහෝ සෙයින් ප්‍රේම කරන සර්ජි පීටර්ස්බර්ග් නගරයට යෑමට සංචාරයක් සංවිධානය කරන්නේය. මාෂාගේ සුන්දරත්වය සහ සිත් ඇදගන්නා සුලු ස්වභාවය ඇයට ක්‍ෂණික ජනප්‍රියත්වයක් ගෙන ආවේය. මෙම යුවළ නැවත නිවසට පැමිණිමට සුදානම් වෙද්දී ඇයව හමුවීමට කැමති වූ කුමාරයෙක් නගරයට පැමිණියේය. මාෂාට තමා සමග එන ලෙසට බල කළ හැකි බව සර්ජි දැන ගෙන සිටියද ඔහු ඇයටම තීරණයක් ගැනීමට ඉඩ හැරියේය. ඇය රැඳී සිටීමට තීරණය කළ අතර ඇගේ “පාවාදීම” ඔහුගේ හදවත බිඳ දැමුවේය.

සර්ජි මෙන් දෙවියන්වහන්සේද කිසි විටෙකත් උන්වහන්සේට විශ්වාසවන්තව සිටින්ට අපට බල කරන්නේ නැත. උන්වහන්සේ අපට ප්‍රේම කරන නිසා උන්වහන්සේට පක්‍ෂපාත වීම හෝ විරුද්ධ වීම තෝරා ගැනීමට අපට ඉඩ දෙන සේක. උන්වහන්සේ උදෙසා අපගේ පළමු තේරීම සිදුවන්නේ උන්වහන්සේගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අපගේ පාපය උදෙසා පූජාවක් ලෙස පිළිගත් විටය (1 යොහන් 4:9-10). ඉන් පසුව තීරණ ගැනීමේ ජීවිත කාලයක් අපට තිබේ.

ශුද්ධාත්මයාණන් වහන්සේ අපට මග පෙන්වන ආකාරයට අපි දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තකම තෝරා ගන්නේද? නැතහොත් ලෝකයට අපගේ සිත් ඇද ගැනීමට ඉඩ දෙනවාද? දාවිත්ගේ ජීවිතය සම්පූර්ණ එකක් නොවූවත් ඔහු බොහෝ විට ලියා ඇත්තේ “ස්වාමින්වහන්සේගේ මාර්ග” තබා ගැනීම සහ එසේ කිරීමෙන් ලැබෙන යහපත් ප්‍රතිඵල ගැනය (ගීතාවලිය 18:21-24). අපගේ තේරීම් දෙවියන්වහන්සේට ගෞරව කරන විට දාවිත් විසින් විස්තර කරන ලද ආශිර්වාද අපට අත්දැකිය හැකිය : එනම් කරුණාවන්තයා සමග දෙවියන් වහන්සේද කරුණාවන්ත බව දක්වන බවයි.