කැබ් රථය අපව ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපළට ගෙන යන අතරතුරදී රථයේ රියැදුරා අපට ඔහුගේ කථාව කීවේය. යුද්ධයෙන් සහ දුෂ්කරතාවයෙන් මිදීමට වයස අවුරුදු පහළොවේදී ඔහු තනිවම එක්සත් රාජධානියට පැමිණ තිබුණි. දැන් අවුරුදු එකොළහකට පසු ඔහුට තමාගේම පවුලක් සිටින අතර ඔහුගේ උපන් භූමියේ නොමැති ආකාරයට ඔවුන්ට අවශ්‍ය දේ ලබා දීමට ඔහුට හැකියාව ලැබී තිබේ. නමුත් ඔහු තවමත් තම දෙමාපියන්ගෙන් සහ සහෝදර සහෝදරියන්ගෙන් වෙන්වී ඇති බවට දුක් වෙන්නේය. ඔහු අපට පැවසුවේ ඔහුගේ පවුල සමග ඔහු නැවත එක්වන තුරු ඔහුගේ දුෂ්කර ගමන සම්පූර්ණ නොවන බවයි.

මේ ජීවිතයේ අපගේ ආදරණීයයන්ගෙන් වෙන්වීම අපහසුය. නමුත් ආදරය කරන කෙනෙක්ව මරණයෙන් අහිමි වීමෙන් ඇති වන හැඟීම අපි ඔවුන් සමග එක් වන තුරු හරියන්නේ නැත. තෙසලෝනිකයේ නව ඇදහිලිවතුන් එවැනි අහිමිවීම් ගැන කල්පනා කරන කළ පාවුල් ඔවුන්ට ලීවේ “තවද සහෝදරයෙනි, බලාපොරොත්තුවක් නැත්තාවූ අන් තැනැත්තන් මෙන් නුඹලා ශෝක නොවන පිණිස සැතපෙන්නන් ගැන නුඹලා නොදැන සිටිනවාට අපි නොකැමැත්තෙමුව” (1 තෙසලෝනික 4:13) යනුවෙනි. යේසුස්වහන්සේ තුළ සිටින ඇදහිලිවන්තයන් වශයෙන් අපට පුදුමාකාර නැවත හමුවීමක් අපේක්‍ෂා කළ හැකිය. එනම් ක්‍රිස්තුස් වහන්සේගේ අභිමුඛයේ සදාකාලයටම එකට සිටීමය (17 පදය).

අප විඳ දරා ගත් වෙන්වීම් කිහිපයක අත්දැකීම් ගැඹුරින් සළකුණු වන්නේය. නමුත් යේසුස්වහන්සේ තුළ අපට නැවත එක්වීමේ බලාපොරොත්තුවක් ඇත. වේදනාව සහ අහිමිවීම මධ්‍යයේ අපට අවශ්‍ය සැනසීම එම පොරොන්දුව මත අපට සොයා ගත හැකි වන්නේය (18 පදය).