කොනර් සහ සාරා ස්මිත් මාර්ගයේ සැතපුම් පහක් පමණ දුරක පිහිටි නිවසකට ගිය අවස්ථාවේ ඔවුන්ගේ බළලා වන ස්මෝර්ස් උගේ අප්‍රසාදය පළ කළේ නිවසින් පලා යෑමෙනි. දිනක් සාරා ඔවුන්ගේ පැරණි ගොවිපොළේ ඡායාරූපයක් සමාජ මාධ්‍යවල දුටුවේය. ඡායාරූපයේ ස්මෝර්ස් සිටියේය.

ස්මිත් යුවළ ඔහුව ලබා ගැනීමට සතුටින් එහි ගියහ. ස්මෝර්ස් නැවතත් පලා ගියේය. ඔහු ගියේ කොහාටද කියා සිතන්න. මේ වතාවේ ඔවුන්ගේ නිවස මිළදී ගත් පවුල ස්මෝර්ස්ද තබා ගැනීමට කැමති විය. නොවැළැක්විය හැකි දේ නැවැත්වීමට ස්මිත් යුවළට නොහැකි වුනි. ස්මෝර්ස් සෑම විටම ඔහුගේ සුපුරුදු
“නිවසට” ආපසු පැමිණියේය.

නෙහෙමියා සූසාහි රජ මාළිගාවේ ගෞරවනීය තනතුරක සේවය කළ නමුත් ඔහුගේ හදවත වෙනත් තැනක විය. “මාගේ පියවරුන්ගේ සොහොන් තිබෙන ස්ථාන” (නෙහෙමියා 2:3) ගැන කණගාටුදායක පුවත ඔහුට අසන්නට ලැබී තිබුණි. එම නිසා ඔහු යාච්ඤා කළේය. “අහෝ ඔබගේ මෙහෙකරුවාවූ මෝසෙස්ට ඔබ අණ කළ දෙය සිහි කළ මැනව….. එහෙත් නුඹලා මා වෙතට හැරී මාගේ ආඥා රක්‍ෂා කරමින් ඒවා ඉෂ්ට කළොත් නුඹලාගෙන් සමහරෙක් පන්නා දමනු ලැබ අහසේ කෙළවර සිටියත් මම ඔවුන් එතැනින් රැස්කර මාගේ නාමය පිහිටුවන්ට මා විසින් තෝරාගත් ස්ථානයට ඔවුන් ගෙනෙන්නෙමියි ඔබ කී සේක” (නෙහෙමියා 1:8-9).

නිවස යනු හදවත ඇති තැන බව කියන කථාවකි. නෙහෙමියාගේ සිද්ධියේදී නිවස සඳහා තිබෙන දැඩි ආශාව දේශයට ඇති බැඳීමට වඩා වැඩි දෙයකි. ඔහු වඩාත් කැමති වූයේ දෙවියන්වහන්සේ සමග සම්බන්ධ වීමටයි. යෙරුසලම වනාහි “මාගේ නාමයට වාසස්ථානයක් ලෙස මා තෝරා ගත් ස්ථානයයි”.

ගැඹුරින්ම දැනෙන අතෘප්තිය ඇත්තෙන්ම දෙවියන්වහන්සේ කෙරෙහි ඇති දැඩි ආශාවයි. උන්වහන්සේ සමග නිවසේ සිටීමට ඇති දැඩි ආශාවයි.