දෙවන ලෝක සංග්‍රාමයේදී නාසීන් විසින් ජෙගස්ටැටර්ව හමුදාවට නිත්‍යානුකූලව බඳවා ගත් විට ඔහු හමුදා මූලික පුහුණුව සම්පූර්ණ කළ නමුත් ඇඩොල්ෆ් හිට්ලර්ට පෞද්ගලිකව පක්‍ෂපාතීවීම ගැන පොරොන්දුව දීම ප්‍රතික්‍ෂේප කළේය. බලධාරීන් ෆ්‍රන්ස් හට නැවත තම ගොවිපොළට යාමට අවසර දුන් නමුත් පසුව ඔහුව සක්‍රීය රාජකාරියට කැඳවන ලදී. නාසි ද්‍රෘෂ්ටිවාදය සමීපව දැකීමෙන් හා යුදෙව් ජන සංහාරය ඉගෙන ගැනීමෙන් පසු දෙවියන්වහන්සේට පක්‍ෂපාතී වීම යන්නෙන් අදහස් වූයේ ඔහුට කිසි විටෙකත් නාසීන් වෙනුවෙන් සටන් කළ නොහැකි බවයි කියා ඔහු තීරණය කළේය. ඔහුව අත්අඩංගුවට ගෙන මරණ දඬුවම නියම වූ අතර ඔහුට බිරිඳ සහ දියණියන් තිදෙනාද තනිකර යන්නට සිදුවුනි.

වසර ගණනාවක් පුරා යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිලිවන්තයන් බොහෝ දෙනෙක්ට මරණයට මුහුණ දෙන්න සිදුවූවත් දෙවියන්වහන්සේට අකීකරු වන ලෙස අණ කරනු ලැබූ විට ඔව්හු එය ස්ථ’රව ප්‍රතික්‍ෂේප කළහ. දානියෙල්ගේ කථාවද එවැනි එක් කථාවකි. රාජකීය නියෝගයක් මගින් “ඔබගෙන් (රජුගෙන්) මිස යම් දෙවි කෙනෙකුගෙන්වත් මනුෂ්‍යයෙකුගෙන්වත් යම් ඉල්ලීමක් ඉල්ලුවොත්” (දානියෙල් 6:12) ඔහු සිංහ ගුහාවෙහි හෙළනු ලබන බවට තර්ජනය කළ විටදී දානියෙල් ආරක්‍ෂාව අතහැර දමා විශ්වාසවන්තව සිටියේය. “තමා ඊට පළමු කළාක් මෙන් දවසට තුන්වරක් දණින් හිඳ තමාගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි යාච්ඤා කොට ස්තුති කළේය” (10 පදය). මිළය කොපමණ වූවත් අනාගතවක්තෘ වරයා තම දණහිස දෙවියන්වහන්සේ සහ දෙවියන් වහන්සේට පමණක් නමනු ඇත.

සමහර විට අපගේ තේරීම පැහැදිළිය. අප අවට සිටින සෑම කෙනෙකුම පවත්නා මතය සමග ඉදිරියට යන ලෙස අපෙන් ඉල්ලා සිටියත් අපගේම කීර්තිය හෝ යහපැවැත්ම අවදානමට ලක්විය හැකි වූවත් අප කිසි විටෙකත් දෙවියන්වහන්සේට කීකරු වීමෙන් වැළකී නොසිටිමු. සමහර විට අධික මිළක් ගෙවීමට සිදු වූවත් අප සෑම දෙනාටම ඉදිරිපත් කළ හැක්කේ ස්ථීරවූ ප්‍රතික්‍ෂේපයකි.