ලාරා සහ ඩේව්ට දරුවෙකු අත්‍යාවශ්‍ය වූ නමුත් ඔවුන්ගේ වෛද්‍යවරයා ඔවුන්ට කියා සිටියේ ඔවුන්ට දරුවෙකු ලැබිය නොහැකි බවයි. ලාරා මිතුරියක් සමග මෙසේ පැවසුවාය : “මම දෙවියන්වහන්සේ සමග ඉතා අවංක කතාබහක යෙදී සිටියෙමි”. නමුත් ඇය සහ ඩේව් ඔවුන්ගේ දේවගැතිවරයා සමග කථා කළේ මෙවැනි “කථාවකට” පසුවය. ඔහු දේවස්ථානයේ දරුකමට හදා ගැනීමේ සේවයක් පවතින බව ඔවුන්ට පැවසීය. වසරකට පසු ඔවුන්ට දරුකමට හදා ගැනීමට පිරිමි දරුවෙක් ලැබුණි.

බයිබලයේ උත්පත්ති 15 හි තවත් අවංක සංවාදයක් ගැන පවසයි. මෙය ආබ්‍රහම් සහ දෙවියන්වහන්සේ අතර ඇති වූ සංවාදයකි. “ආබ්‍රම් භය නොවන්න. …. නුඹේ ඉතා මහත් විපාකය මමය” (1 පදය) කියා දෙවියන් වහන්සේ ඔහුට කියා තිබුණි. නමුත් ආබ්‍රම් තම අනාගතය ගැන වූ දෙවියන්වහන්සේගේ පොරොන්දුව ගැන අවිනිශ්චිතව පිළිතුරු දෙමින් “ස්වාමිවූ දෙවියන්වහන්ස, මට දරුවෙක් නැත. …. ඉතින් ඔබ මට කුමක් දෙන සේක්ද?” කියා ඇසුවේය (2 පදය).

කලින් දෙවියන්වහන්සේ ආබ්‍රම්ට පොරොන්දු වී තිබුණේ “නුඹේ වංශය පොළොවේ දූලි මෙන් වැඩි කරන්නෙමි” (13:16) කියාය. දැන් ආබ්‍රම් මනුෂ්‍යයෙක් ලෙස කල්පනා කළ මොහොතේ එය දෙවියන් වහන්සේට මතක් කර දුන්නේය. නමුත් දෙවියන්වහන්සේගේ ප්‍රතිචාරය සැළකිල්ලට ගන්න. ඔහුගේ පරම්පරාව ගණන් කළ නොහැකි බව අඟවමින් දෙවියන්වහන්සේ ආබ්‍රම්ට “අහස දෙස බලා තාරකා ගණන් කළ හැකි නම් ගණන් කරන්න” යයි කියමින් සහතිකයක් දුන් සේක (15:5).

එවැනි සෘජු යාච්ඤාවකට ඉඩ හැරියා පමණක් නොව ආබ්‍රම්ට මෘදු ලෙස සහතික කිරීම තුළින්ද දෙවියන් වහන්සේ කෙතරම් යහපත්ද කියා පෙනේ. පසුව දෙවියන්වහන්සේ ඔහුගේ නම “ආබ්‍රහම්” (බොහෝ දෙනෙකුගේ පියා) ලෙසට වෙනස් කළ සේක. ආබ්‍රහම්ට මෙන් ඔබටත් මටත් අපගේ හදවත් උන්වහන්සේ සමග විවෘතව බෙදා ගත හැකි අතර අපටත් අන් අයටත් හොඳම දේ කිරීමට උන්වහන්සේව විශ්වාස කළ හැකි බව දැන ගන්න.