2020 දී ඇලිස්සා මෙන්ඩෝසාට මධ්‍යම රාත්‍රීයේදී ඇගේ පියාගෙන් පුදුම සහගත විද්්‍යුත් ලිපියක් ලැබුණි. දෙමව්පියන්ගේ විසිපස්වන විවාහ සංවත්සරය වෙනුවෙන් මව සම්බන්ධයෙන් කුමක් කළ යුතුද යන්න පිළිබඳව උපදෙස් එම පණිවුඩයේ තිබුණි. මෙය කම්පනයට පත්වීමක් වන්නේ කෙසේද? ඇලිස්සාගේ පියා මිය ගොස් තිබුණේ මාස දහයකට පෙරය. ඔහු අසනීපව සිටිද්දී මෙම දිනය වෙනුවෙන් ඔහු නොසිටීය යන හැඟීමෙන් ඔහු විද්්‍යුත් ලිපිය ලියා උපලේඛණගත කර ඇති බව ඇය සොයා ගත්තාය. එමෙන්ම ඉදිරියට එන ඇගේ සෑම උපන් දිනයකටද අනාගත සංවත්සරයන්ටද ආදරවන්තයන්ගේ දිනයටද ඔහු ඇයට මල් යැවීමට මුදල් ගෙවා සුදානම් කර තිබුණි.

මෙම කථාව සාලමොන්ගේ ගීතවල විස්තරාත්මකව දක්වා ඇති ආකාරයේ ප්‍රේමයකට උදාහරණයක් විය හැකිය. “ප්‍රේමය මරණය මෙන් බලවත්ය. කාම ක්‍රෝධය මිනීවළ මෙන් ක්‍රෑරතරය” (8:6). සොහොන සහ මරණය ආදරයට සංසන්දනය කිරීම අමුතු බවක් පෙනෙන නමුත් ඔවුන් ශක්තිමත් වන්නේ ඔවුන් මහළුන්ව අත් නොහරින නිසාවෙනි. එසේම සැබෑ ආදරයද ආදරණීයයා අත් නොහරින්නේය. මෙම පොත 6-7 පදවල උච්චතම අවස්ථාව කරා ළඟා වෙන අතර විවාහක ප්‍රේමය කෙතරම් ශක්තිමත්ද කියනවා නම් “බොහෝ වතුරුවලින් ප්‍රේමය නිවන්ට බැරිය” (7 පදය) කියා පවසන්නේය.

බයිබලය පුරාම ස්වාමිපුරුෂයා සහ භාර්්‍යයාව අතර ඇති ප්‍රේමය දෙවියන්වහන්සේගේ ප්‍රේමය හා සංසන්දනය කෙරේ (යෙසායා 54:5; එපීස 5:25; එළිදරව් 21:2). යේසුස්වහන්සේ මනාලයා වන අතර සභාව උන්වහන්සේගේ මනාලියයි. අපගේ පාප වෙනුවෙන් අපට මැරෙන්නට සිදු නොවන පිණිස මරණය විඳීමට ක්‍රිස්තුස්වහන්සේ එවීමෙන් දෙවියන්වහන්සේ අප වෙනුවෙන් දක්වන ප්‍රේමය පෙන්වූ සේක (යොහන් 3:16). අප විවාහක හෝ අවිවාහක හෝ වූවත් අපට සිතා ගත හැකි ඕනෑම දෙයකට වඩා දෙවියන්වහන්සේගේ ප්‍රේමය ශක්තිමත් බව අපට මතක තබා ගත හැකිය.