මාගේ නැතිවූ විවාහ මංගල්‍යය සහ සංවත්සර මුදු සෙවීමේ නොඉවසිලිමත් කාලය අතර තුර මගේ කම්මුල් දිගේ කඳුළු ගලා ගියේය. පැයක පමණ කාලයක් පුටුවල කුෂන් ඔසවා අපගේ නිවසේ සෑම අස්සක් මුල්ලක් නෑරම සෙවූ පසු “මට සමාවෙන්න. අපි ඒවා ආදේශ කරමු” කියා ඇලන් පැවසුවේය.

“ස්තූතියි” මම ප්‍රතිචාර දැක්වූයෙමි. “නමුත් එහි භාවාත්මක අගය ද්‍රව්‍යමය වටිනාකමට වඩා වැඩියි. ඒවා ආදේශ කිරීමට නොහැකියි”. යාච්ඤා කරමින් මම දිගටම ආභරණ සොයන්න පටන් ගත්තෙමි. “අනේ දෙවියන්වහන්ස, මට ඒවා සොයා ගන්න උදව් කරන්න”.

පසුව සතිය මුලදී පැළඳ සිටි ස්වෙටරයක සාක්කුවක තිබී මට මිළ කළ නොහැකි ආභරණ හමුවුනි. “ස්තුතියි යේසුනී” මම කෑගැසුවෙමි. මමත් මගේ ස්වාමිපුරුෂයාත් ප්‍රීති වෙමින් සිටිද්දී මම මුදු ඇඟිලිවලට දමමින් කාසිය නැතිවූ ස්ත්‍රියගේ උපමාව සිහිපත් කළෙමි (ලූක් 15:8-10). නැතිවූ රිදී කාසිය සෙවූ කාන්තාව මෙන් නැතිවූ දේවල අගය මම දැන සිටියෙමි. අපගේ වටිනා භාණ්ඩ සොයා ගැනීමට වෙහෙස වූ අප දෙදෙනාම වැරදි නැත. යේසුස්වහන්සේ එම කථාව යොදා ගත්තේ උන්වහන්සේ මැවූ සෑම පුද්ගලයෙකුම ගළවා ගැනීමට ඇති උන්වහන්සේගේ ආශාව අවධාරණය කිරීමටය. එක් පව්කාරයෙක් පසුතැවිලි වීමෙන් ස්වර්ගයේ සැමරීමක් සිදු වේ.

නැතිවූ වස්තුව සොයා ගැනීමට අප යාච්ඤා කරනවා වගේ අන් අය වෙනුවෙන් බලවත් උනන්දුවෙන් යාච්ඤා කරන පුද්ගලයෙක් බවට පත්වීම මොනතරම් ත්‍යාගයක්ද? යමෙකු පසුතැවිලි වී තම ජීවිතය ක්‍රිස්තුස් වහන්සේට භාර දුන් විට සැමරීම මොන තරම් වරප්‍රසාදයක්ද? අප යේසුස්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා ඇත්නම් අපව සොයා ගැනීම වටී යයි සිතූ නිසා කිසි විටෙකත් අපව අත් නොහරින කෙනෙකුගේ ආදරය ලැබීමේ ප්‍රීතිය අත් විඳීමට හැකි වීම ගැන අපට ස්තුතිවන්ත විය හැකිය.