කත්බර්ට් නැමැත්තා උතුරු එංගලන්තයේ බෙහෙවින් ආදරය කරන චරිතයක් විය. හත්වන සියවසේ බොහෝ ප්‍රදේශවල ඉවැන්ජලිස්ත සේවය සඳහා වගකිව යුතු කත්බර්ට්, රජවරුන්ට උපදෙස් දුන් අතර රාජ්‍ය කටයුතු වලට බලපෑම්ද කළේය. ඔහුගේ මරණින් පසුව ඩර්හැම් නගරය ඔහුගේ ගෞරවය පිණිස ඉදි කරන ලදී. නමුත් කත්බර්ට්ගේ උරුමය මේවාට වඩා බොහෝ ආකාරවලින් විශිෂ්ඨ වුනි.

වසංගතයකින් කලාපයක් විනාශ වෙමින් තිබූ කලෙක කත්බර්ට් යම් සහනයක් ලබා දෙන පිණිස බලපෑමට ලක්වූ නගරවල සංචාරය කළේය. එක් ගමකින් පිටව යාමට සුදානම් වූ ඔහු යාච්ඤා කිරීමට කිසිවෙකු සිටීදැයි පරීක්‍ෂා කර බැලුවේය. එහි දරුවෙක් ඔසවා ගෙන සිටි කාන්තාවක් විය. ඒ වන විටත් ඇයට එක් පුතෙක් අහිමිව සිටි අතර ඇය ඔසවා ගෙන සිටි දරුවාද මරණාසන්නව සිටියේය. කත්බර්ට් උණෙන් පෙළුණු දරුවාව අතට ගෙන ඔහු වෙනුවෙන් යාච්ඤා කර ඔහුගේ නළලත සිප ගත්තේය. “බිය නොවන්න. මක්නිසාද ඔබේ පවුලේ කිසිවෙක් මැරෙන්නේ නැත” කියා ඔහු ඇයට පැවසුවේය. වාර්තා වන පරිදි පිරිමි දරුවා ජීවත් වූයේය.

ශ්‍රේෂ්ඨත්වය පිළිබඳව පාඩමක් ඉගැන්වීමට යේසුස්වහන්සේ වරක් පිරිමි දරුවෙක් වඩා ගෙන “මෙබඳු කුඩා දරුවන්ගෙන් එක්කෙනෙකු මාගේ නාමයෙන් පිළිගන්නාවූ කවරෙක් නුමුත් මා පිළිගන්නේය” (මාර්ක් 9:37) යයි කී සේක. යුදෙව් සංස්කෘතියේ කෙනෙකු පිළිගැනීම යන්නෙන් අදහස් කරන්නේ සත්කාරකයෙකු විසින් ආගන්තුකයෙකු පිළිගන්නා ලෙසට ඔහුට සේවය කිරීම වන්නේය. ළමයින් වැඩිහිටියන්ට සේවය කළ යුතු වූ අතර වැඩිහිටියන් එසේ කළ යුතු වන්නේ නැත. යේසුස්වහන්සේගේ මෙම අදහස සමහර විට යුදෙව්වන් කම්පනයට පත් කළා විය හැකිය. සැබෑ ශ්‍රේෂ්ඨත්වය පවතින්නේ කුඩාම හා පහත් දෙයට සේවය කිරීම තුළය (35 පදය).

රාජාණ්ඩුවලට උපදේශකයෙක්. ඉතිහාසයට බලපෑම් කරන්නෙක්. ඔහුගේ ගෞරවය පිණිස ඉදිවූ නරගයක්. නමුත් සමහර විට ස්වර්ගය කත්බර්ට්ගේ උරුමය වාර්තා කරනවා ඇත්තේ මේ ආකාරයටය : මවක් දුටුවේය. නළලත සිප ගත්තේය. තම ස්වාමියා පිළිඹිබු කරන නිහතමානී ජීවිතයක්.