අපි අපව “ක්‍රිස්තුස්වහන්සේ තුළ සහෝදරියන්” ලෙස හඳුන්වා ගත් නමුත් මගේ සුදු මිතුරිය සහ මම සතුරන් මෙන් ක්‍රියා කළෙමු. එක් උදෑසනක අවන් හලක උදෑසන ආහාර ගනිද්දී අපි අපගේ වෙනස් වාර්ගික අදහස් ගැන තර්ක කළෙමු. ඉන්පසුව අප වෙන්ව ගියේ නැවතත් අප මුණ නොගැසෙන බවට සපථ කරමිනි. කෙසේ වෙතත් වසරකට පසුව නැවතත් අපව එම කිතුනු සේවය මගින්ම සේවයට කැඳවා තිබුණි. එකම දෙපාර්තමේන්තුවේ සේවය කරමින් අපට හමු නොවී නොසිටිය හැකි වුනි. මුලදී චකිතයකින් යුතුව අපි ගැටුම් ගැන කථා කළෙමු. කලයාගේ ඇවෑමෙන් එකිනෙකාගෙන් සමාව ඇයදීමට සහ සුවය ලැබීමටත් දේව සේවයට අපගේ උපරිම දායකත්ය ලබා දීමටත් දෙවියන්වහන්සේ අපට උපකාර කළ සේක.

දෙවියන්වහන්සේ ඒසව් සහ ඔහුගේ නිවුන් සහෝදරයා වූ යාකොබ් අතර ඇතිවූ තිත්ත බෙදීම සුව කළ අතර දෙදෙනාගේම ජීවිතවලට ආශිර්වාද කළ සේක. වරක් වංචාකාරයෙක් වූ යාකොබ් විසින් ඒසව්ට හිමි ඔවුන්ගේ පියාගේ ආශිර්වාදය සොරකම් කර ගත්තේය. නමුත් වසර විස්සකට පසුව නැවත ඔහුගේ මව් බිමට යන ලෙසට දෙවියන්වහන්සේ යාකොබ්ට කී සේක. ඒ නිසා යාකොබ් ඒසව්ව සතුටු කිරීමට ඔහුට ඉදිරියෙන් තෑගි යැව්වේය. “එවිට ඒසව් ඔහු සම්මූඛ වෙන්ට දිව ගොස් ඔහු වැළඳ ගෙන බෙල්ල බදා ගෙන ඔහු සිඹ ගත්තේය” (උත්පත්ති 33:4).

අපගේ තෑගි, කුසලතා සහ වස්තු උන්වහන්සේට ඔප්පු කිරීමට පෙර සහෝදරයෙක් හෝ සහෝදරියක් සමග ඇති කෝපය සමථයකට පත් කර ගැනීමට දෙවියන්වහන්සේ කරන ඉල්ලීමට හොඳම උදාහරණය ලෙසට ඔවුන්ගේ නැවත එක්වීම නැගී සිටින්නේය (මතෙව් 5:23-24). ඒ වෙනුවට “පළමුකොට නුඹේ සහෝදරයා හා සමගි වී පසුව ඇවිත් නුඹේ පඬුර පුදන්න” (මතෙව් 5:24). යාකොබ් දෙවියන් වහන්සේට කීකරු වූයේ ඒසව් සමග සමාදාන වෙමින් සහ පසුව දෙවියන් වහන්සේට පූජාසනයක් ගොඩ නගමිනි (උත්පත්ති 33:20). මොන තරම් පියකරු ක්‍රමවේදයක්ද! පළමුව සමාව දීමට සහ සමාදාන වීමට වෙහෙසෙන්න. ඉන්පසුව උන්වහන්සේගේ පූජාසනයේදී උන්වහන්සේ අපව පිළිගන්නා සේක.