ඇමෙරිකානු කොන්ග්‍රස් සභිකයෙකු සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ නායකයෙක් වූ ජෝන් ලුවිස් 2020 දී මිය ගිය විට බොහෝ දේශපාලන පෙළඹවීම් ඇති අය වැලපුණහ. කළු පුරවැසියන්ගේ ඡන්ද අයිතිය සුරක්‍ෂිත කිරීම සඳහා 1965 දී ලුවිස්, මාර්ටින් ලූතර් කීං (කණිෂ්ඨ) සමග පා ගමනින් ගියේය. පා ගමන අතරතුර ලුවිස්ගේ හිස් කබල ඉරිතලා ගිය අතර එම කැළැල් ඔහුගේ ජීවිත කාලය පුරාවටම තිබුණි. “හරි නැති, සාධාරණ නොවන, අයුක්ති සහගත දෙයක් දකින විට යමක් කීමට සදාචාරාත්මක වගකීමක් ඔබට තිබේ. ඔබ යමක් කළ යුතු වන්නේය” යයි ලුවිස් කීවේය. “කිසි විටෙකත් එය ගැන හඬ නැගීමට බිය නොවන්න. හොඳ හා අවශ්‍ය කරදරවලට පැටලෙන්න බිය නොවන්න” කියාද ලුවිස් කීවේය.

හරි දේ කිරීමටද සත්‍යයට විශ්වාසවන්තව සිටීමද සඳහා “හොඳ” කරදරයක් කළ යුතු බව ලුවිස් කලින්ම ඉගෙන ගත්තේය. ජනප්‍රිය නොවන දේවල් ගැන කථා කිරීමට ඔහුට අවශ්‍ය වූයේය. අනාගතවක්තෘ ආමොස්ද මෙය දැන සිටියේය. ඉශ්‍රායලයේ පාපය හා අයුක්තිය දුටු ඔහුට නිහඬව සිටීමට නොහැකි විය. බලවතුන්
“අහිංසකයන්ට පීඩා කර අල්ලස් ලබා ගෙන උසාවියේදී දුප්පතුන්ට අසාධාරණය ඉටු කරන ආකාරයත්”
“සරුසාර මිදි වතු” සහිත “ගල් මන්දීර” ඉදි කරන ආකාරයත් ආමොස් හෙළා දුටුවේය (ආමොස් 5:11-12). තමාගේ ආරක්‍ෂාව සහ සුවපහසුව පවත්වා ගෙන යනවා වෙනුවට ආමොස් නපුර පෙන්වා දුන්නේය. අනාගතවක්තෘ හොඳ සහ අවශ්‍ය කරදර ඇති කළේය.

නමුත් මෙම කරදරය යහපත් දෙයක් ඉලක්ක කර ගත්තේය – එනම් සැමට යුක්තියය. “යුක්තිය ජලය මෙන් … ගලා යාවා” (24 පදය) කියා ආමොස් ප්‍රකාශ කළේය. අපි යහපත් කරදරයකට පැටලෙන විට (යුක්තිය අවශ්‍ය වන ධර්මිෂ්ඨ අවිහිංසාවාදී) ඉලක්කය සෑම විටම යහපත්කම සහ සුවය වන්නේය.