සමහර රූප කෙතරම් බලවත්ද කිවහොත් ඒවා අමතක කළ නොහැකිය. නැසීගිය වේල්සයේ ඩයනා කුමරියගේ ඡායාරූපයක් දැකීමේදී මා ලැබූ අත්දැකීම එය විය. බැලූ බැල්මට එම දර්ශනය ඒකාකාරී ලෙස පෙනේ. උණුසුම් සිනහවකින් කුමරිය නාඳුනන මනුෂ්‍යයෙක්ට අතට අත දෙන්නීය. නමුත් එය විශිෂ්ඨ එකක් කරනුයේ ඡායාරූපයේ කථාවයි.

1987 අප්‍රේල් 19 වන දින ඩයනා කුමරිය ලන්ඩන් මිඩ්ල්සෙක්ස් රෝහලට ගිය විට එක්සත් රාජධානිය ඒඩ්ස් වසංගත භීතියේ රැල්ලට හසු වී තිබුණි. බොහෝ විට භයානක ලෙස වේගයෙන් මරණයට පත්වන මෙම රෝගය පැතිරෙන්නේ කෙසේදැයි නොදැන මහජනයා ඇතැම් විට ඒඩ්ස් රෝගයට ගොදුරු වූවන් සමාජයෙන් කොන් කළ අය ලෙස සැළකූහ.

එම නිසා ඩයනා අත්වැස්මකින් තොරවූ දෑතින් සහ අව්‍යාජ සිනහවකින් ඒඩ්ස් රෝගියෙකුට අතට අත දීම ඒ දිනයේ අපූරු මොහොතක් වුනි. ගෞරවය සහ කරුණාව පිළිබඳ එම ප්‍රතිරූපය රේගයට ගොදුරු වූවන්ට එවැනි දයාවකින් සහ අනුකම්පාවකින් යුතුව සැළකීමට ලෝකය පොළඹවනු ඇත.

එම ඡායාරූපය මට බොහෝ විට අමතක වන දෙයක් මතක් කර දෙන්නේය. යේසුස්වහන්සේගේ ප්‍රේමය නිදහසේ සහ ත්‍යාගශීලීව අන් අයට පිරිනැමීම වටින්නේය. ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි මුල් ඇදහිලිවතුන්ට යොහන් මතක් කර දුන්නේ අපගේ බිය හමුවේ ප්‍රේමය මැළවීමට හෝ සැඟවීමට හෝ ඉඩ හැරීම සැබවින්ම
“මරණයේ” ජීවත් වීම බවයි (1 යොහන් 3:14). ශුද්ධාත්මයාණන්ගේ ප්‍රේමයෙන් පිරී බලගැන්වී නිදහසේ සහ බිය නැතිව ප්‍රේම කිරීම යනු නැවත නැගිටීමේ ජීවිතය සර්ව සම්පූර්ණයෙන් අත් විඳීම වන්නේය.