අපි චීනයේ යූනාන් පළාතෙන් වෙන්ව වනාන්තරයේ තව තවත් ඇතුළට ගමන් කළෙමු. පැයකට පමණ පසු කන් බිහිරි වන තරම් ජල ඝෝෂාවක් අපට ඇසුණි. අපි ගමන් වේගය වැඩි කරමින් ඉක්මණින්ම එළිපෙහෙළි කරන ලද ස්ථානයකට ළඟා වීමු. අළු පැහැති ගල් අතරින් කඩා හැළෙන සුදු පැහැති මනහර ජල තිරයක් අපව පිළිගත්තේය. ඉතාමත්ම දර්ශනීයයි!

පැයකට පෙර අප හැර ආ ගමේ ජීවත්වූ අපගේ කඳු නැගීමේ සගයන් තීරණය කළේ අපි විනෝද චාරිකාවක් පැවැත්විය යුතු බවයි. හොඳ අදහසක්. නමුත් කෑම කොහේද? අපි කිසිවක් ගෙනැවිත් තිබුණේ නැත. මගේ මිතුරන් අවට ඇති වනාන්තරය තුළට නොපෙනී ගොස් පලතුරු සහ එළවළු වර්ග මෙන් මාළුද රැගෙන ආපසු ආහ. එහි කුඩා දම් පාට මල් සමග “ෂුයිසියාංකායි” (චීව කුළුබඩු විශේෂයක්) අමුතු පෙනුමක් ගෙන දුන්නත් රසය ඉතාමත් මිහිරි විය.

මැවිල්ල දෙවියන්වහන්සේගේ අතිමහත් සැපයුම ප්‍රකාශ කරන බව මගේ මතකයට නැගුණි. උන්වහන්සේගේ ත්‍යාගශීලි සැපයුම වෙනුවෙන් “තෘණද ඒ ඒ වර්ග ලෙස බීජ උපදවන පලාද ඒ ඒ වර්ග ලෙස බීජ සහිත ඵල දරණ වෘක්‍ෂද” අපට දැක ගත හැකිය (උත්පත්ති 1:12). දෙවියන්වහන්සේ අපට ආහාර සඳහා ලබා දී ඇත්තේ
“බීජ දරන සියලු පලාද බීජ දරණ ඵල ඇති සියලු වාක්‍ෂයන්ද” (29 පදය) වේ.

ඔබේ අවශ්‍යතා සපුරාලීම සඳහා දෙවියන්වහන්සේව විශ්වාස කිරීමට සමහර විට අපහසුවන්නේද? මැවිල්ල මධ්‍යයේ ඇවිදින්න යන්නෙ නැත්තේ මන්ද? ඔබ දකින දෙය යේසුස්වහන්සේ සහතික කරන ලද වචන ඔබට සිහිපත් කෙරේවා : “ඒහෙයින් කුමක් කමුද? කුමක් බොමුද? කියමින් කණස්සලු නොවන්න… මේ සියල්ල නුඹලාට ඕනෑ බව නුඹලාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ දන්නා සේක” (මතෙව් 6:31-32).