මගේ ස්වාමිපුරුෂයා සහ පුතා චිත්‍රපටියක් නැරඹීම සඳහා රූපවාහිනී නාළිකා අතර සොයමින් යන අවස්ථාවේ ඔවුන්ගේ ප්‍රියතම චිත්‍රපට දැනටමත් විකාශය වෙමින් තිබෙන බව සොයා ගත්හ. අවසාන දර්ශන නැරඹීමෙන් ඔවුන් සතුටට පත්වෙමින් සිටි අතර සෙවීම ක්‍රීඩාවක් බවට පත්වුනි. ඔවුන්ගේ ප්‍රියතම චිත්‍රපට අටක් සොයා ගැනීමට ඔවුහු සමත් වූහ. කලකිරීමට පත්ව මම ඇසුවේ මුල සිටම නරඹන්න චිත්‍රපටයක් ඔවුන් තෝරා නොගන්නේ මන්ද කියාය. “හොඳ අවසානයකට ආදරය නොකරන්නේ කවුද?” කියා මගේ ස්වාමි පුරුෂයා සිනහසුණේය.

මමත් මගේ ප්‍රියතම පොත් හෝ චිත්‍රපට වල හෝ අවසානය කුමක්දැයි බලා සිටින බව පිළිගන්නෙමි. බයිබලය කියවන අවස්ථාවේදී මගේ ප්‍රියතම කොටස්ද වඩාත් රසවත් සහ තේරුම් ගැනීමට පහසු කථාන්දරද කෙරෙහි අවධානය යොමු කරන්නෙමි. නමුත් දෙවියන්වහන්සේගේ විශ්වාසදායක සහ ජීවිතයට අදාළ වන වචන සියල්ලම අපව වෙනස් කිරීමට සහ යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිලිවන්තයන්ට උන්වහන්සේගේ කථාව හොඳින් අවසන් වන බව සනාථ කිරීමට ශුද්ධාත්මයාණන් වහන්සේ භාවිතා කරන සේක.

ක්‍රිස්තුස්වහන්සේ තමන්වහන්සේව ප්‍රකාශ කරන්නේ“මම ඇල්ෆා සහ ඔමේගාය. පළමුවෙනියා සහ අන්තිමයාය. පටන්ගැන්ම සහ කෙළවරය” (එළිදරව් 22:13) යනුවෙනි. තම සෙනගට සදාකාල ජීවනය උරුම වන බව උන්වහන්සේ ප්‍රකාශ කරන සේක (14 පදය). එසේම “මේ පොතේ අනාගත වාක්‍ය වචන” එකතු කිරීමට හෝ අඩු කිරීමට උත්සාහ කරන අයට අනතුරු අඟවන සේක (18-19 පද).

අපි බයිබලයේ ඇති සෑම දෙයක්ම නොදැන හෝ තේරුම් නොගෙන සිටියද යේසුස්වහන්සේ නැවත පැමිණෙන බව දන්නෙමු. උන්වහන්සේ පාපය අවසන් කර සෑම වැරැද්දක්ම නිවැරදි කර සියල්ල අලුත් කර අපගේ ප්‍රේමණීය රජු ලෙසට සදාකාලයටම රජ කරන සේක. දැන් එය අපගේ නව ආරම්භයට මග පෙන්වන විශිෂ්ඨ අවසානයක් වන්නේය.