වේගවත් මංතීරුවේ සිට අඩි කිහිපයක් ඈතින් පිහිටි ජාතික අධිවේගී මාර්ගයක් මධ්‍යයේ සූරියකාන්ත මලක් තනිවම තිබුණේය. සැතපුම් ගණනාවකට වෙනත් සූරියමල් දැක ගැනීමටවත් නොතිබුණු හෙයින් මෙය මෙතැන වැවුණේ කෙසේද කියා එය පසුකර යන මම කල්පනා කළෙමි. අළු පැහැති බොරළු මධ්‍යයට ආසන්නව පාරට කිට්ටුව වැඩෙන පැළෑටියක් නිර්මාණය කළ හැක්කේ දෙවියන්වහන්සේට පමණී. එහි එය සශ්‍රීකව වැඩෙමින් සුළඟේ මෘදු ලෙස වැනෙමින් තමන් පසුකර වේගයෙන් යන්නන්ට ප්‍රීතියෙන් සුභ පතන්නේය.

පෙර දැනුම් දීමක් නොමැතිව පැමිණි විශ්වාසවන්ත යුදා රජෙකුගේ කථාවක් පරණ ගිවිසුමේ සඳහන් වේ. ඔහුගේ පියා සහ සීයා වෙනත් දෙවිවරුන්ට උද්යෝගයෙන් සේවය කර තිබුණි. නමුත් යොෂියා අවුරුදු අටක් බලයේ සිටීමෙන් පසු “ඔහු බාලව සිටීයදීම තමාගේ පියවූ දාවිත්ගේ දෙවියන්වහන්සේ සොයන්ට පටන් ගත්තේය” (2 ලේකම් 34:3). “ස්වාමින්වහන්සේගේ ගෘහය අලුත්වැඩියා කරන පිණිස ඔහු වැඩකරුවන් යැව්වේය” (8 පදය). ඔවුන් වැඩ කරමින් සිටි විටදී ඔවුන්ට ව්‍යවස්ථා පොත (පැරණි ගිවිසුමේ මුල් පොත් පහ; 14 පදය) සම්බ වුනි. මුළු යුදා ජාතියටම ඔවුන්ගේ මුතුන්මිත්තන්ගේ ඇදහිල්ල කරා ආපසු යාමට දෙවියන් වහන්සේ යොෂියාට අනුග්‍රහය දුන් අතර ඔවුන් “යොෂියා ජීවත්වූ තාක් කල්” (33 පදය) ස්වාමින්වහන්සේට සේවය කළහ.

අපේ දෙවියන්වහන්සේ බලාපොරොත්තු නොවූ අනුග්‍රහයන්ගේ ස්වාමින්වහන්සේය. ජීවිතයේ වඩාත්ම අහිතකර තත්ත්වයන්ගේ තද බොරළු මතින් අනපේක්‍ෂිත ලෙස මහත් යහපත් දේ හට ගැන්වීමට උන්වහන්සේට පුළුවන. උන්වහන්සේ දෙස හොඳින් බලන්න. අදත් උන්වහන්සේට එය නැවත කළ හැකිය.