දැඩි විශ්වාසයක් සහ යාච්ඤාවෙන් පිරුණු මනුෂ්‍යයෙක් ලෙස මගේ සීයා වන ඩයර්කින්ව මගේ පවුලේ අය සිහිපත් කරයි. නුමුත් එය සෑම විටම එසේ නොවීය.“අපි කෑමට පෙර දෙවියන්වහන්සේට ස්තුති කරන්න පටන් ගනිමු” යනුවෙන් ඇගේ පියා පවුලට ප්‍රකාශ කළ පළමු අවස්ථාව මගේ නැන්දා සිහිපත් කළාය. ඔහුගේ පළමු යාච්ඤාව ව්‍යක්ත එකක් නොවූවත් වසර පනහක් පුරාම සෑම දිනකම යාච්ඤා කිරීමේ පුරුද්ද නොකඩවාම කර ගෙන ගියේය. ඔහු මිය ගිය විට මගේ ස්වාමි පුරුෂයා මගේ ආච්චිට “යාච්ඤා කරන අත්” නම්වූ පැළෑටිය ලබා දෙමින් “සීයා යාච්ඤාවේ මනුෂ්‍යයෙක්” යැයි පැවසීය. දෙවියන්වහන්සේව අනුගමනය කිරීමට සහ සෑම දිනකම උන්වහන්සේ සමග කථා කිරීමට ඔහු ගත් තීරණය ඔහුව ක්‍රිස්තුස්වහන්සේගේ විශ්වාසවන්ත සේවකයෙක් බවට පත් කළේය.

යාච්ඤාව ගැන බයිබලයට බොහෝ දේ කියන්නට ඇත. මතෙව් 6:9-13 හි යේසුස්වහන්සේ තම අනුගාමිකයන්ට යාච්ඤා කිරීම සඳහා රටාවක් ලබා දුන් අතර දෙවියන්වහන්සේ කවුදැයි අවංකවම ප්‍රකාශ කරමින් උන්වහන්සේ වෙතට පැමිණීමට ඔවුන්ට ඉගැන්වූ සේක. අප අපගේ ඉල්ලීම් දෙවියන්වහන්සේ වෙත ගෙන එන විට උන්වහන්සේ “අපගේ දවස්පතා භෝජනය” ලබා දෙන බවට අපි උන්වහන්සේව විශ්වාස කර්නෙමු (11 පදය). අප අපගේ පාපයන් ප්‍රකාශ කරද්දී අපි උන්වහන්සේගෙන් සමාව ඉල්ලා සිටින අතර පරීක්‍ෂාවන් වළක්වා ගැනීමට උපකාරද ඉල්ලා සිටින්නෙමු (12-13 පද).

නමුත් අපි “ස්වාමින්ගේ යාච්ඤාව” පමණක් යාච්ඤා කිරීමට සීමා නොවිය යුතුය. දෙවියන්වහන්සේට අවශ්‍ය වන්නේ අප “සෑම අවස්ථාවකදීම” “සියලු ආකාරයේ යාච්ඤා” උන්වහන්සේට යාච්ඤා කිරීමටය (එපීස 6:18). අපගේ ආත්මික වර්ධනය සඳහා යාච්ඤාව අත්‍යවශ්‍ය වන අතර සෑම දිනකම උන්වහන්සේ සමග නොකඩවා සංවාදයේ යෙදීමට එය අපට අවස්ථාව ලබා දෙන්නේය (1 තෙසලෝනික 5:17-18).

දෙවියන්වහන්සේ සමග කථා කිරීමට ආශාවෙන් නිහතමානී හදවත් ඇතුව අප දෙවියන්වහන්සේ වෙත ළඟා වන විට උන්වහන්සේව වඩාත් හොඳින් හඳුනා ගැනීමට සහ ප්‍රේම කිරීමට උන්වහන්සේ අපට උපකාර කරන සේක්වා.