මගේ පංතියේ සමහර ශිෂ්‍යයන් හා මම ඉඳහිට විශ්ව විද්‍යාලයේ දේශනා මග හැරියත් අපි සෑම කෙනෙක්ම සෑම විටම මහාචාර්ය ක්‍රිස්ගේ දේශනයට විභාගයට සතියකට පෙර සහභාගී වීමට වග බලා ගත්තෙමු. ඒ ඔහු විසින් සකස් කරන ලද විභාග ප්‍රශ්න පිළිබඳව විශාල ඉඟි ලබා දෙන අවස්ථාව වන හෙයිනි.

මහාචාර්ය ක්‍රිස්ට අවංකවම අවශ්‍ය වුනේ අප හොඳින් විභාගයෙන් සමත් වීම බව මට වැටහෙන තුරු ඔහු එසේ කළේ ඇයිදැයි මම නිතරම කල්පනා කළෙමි. ඔහුට උසස් ප්‍රමිතියක් තිබුණත් ඒවා ලබා ගැනීමට ඔහු අපටත් උපකාර කළේය. අප කළ යුතුව තිබුණේ පංති වලට සහභාගී වී සවන් දී නිසි ලෙස සුදානම් වීමය.

දෙවියන්වහන්සේත් එවැනි කෙනෙක් බව මට ඒත්තු ගියේය. දෙවියන්වහන්සේට උන්වහන්සේගේ ප්‍රමිතීන් වෙනස් කළ නොහැක. නමුත් අප උන්වහන්සේ හා සමාන වීම උන්වහන්සේ දැඩි ලෙස ආශා කරන හෙයින් එම ප්‍රමිතීන් සපුරා ලීමට අපට උපකාර කිරීම සඳහා උන්වහන්සේ අපට ශුද්ධාත්මයාණන් වහන්සේ ලබා දුන් සේක.

යෙරෙමියා 3:11-14 හි දෙවියන්වහන්සේ නොඇදහිලිවන්ත ඉශ්‍රායෙල්වරුන්ගෙන් ඉල්ලා සිටියේ ඔවුන්ගේ වරද පිළිගෙන උන්වහන්සේ වෙතට හැරී එන ලෙසටය. එහෙත් ඔවුන් කෙතරම් මුරණ්ඩු හා දුර්වල දැයි දැන උන්වහන්සේ ඔවුන්ට උපකාර කරන සේක. ඔවුන්ගේ පසුබටවීම් සුව කරන බවට උන්වහන්සේ පොරොන්දු වූ සේක (22 පදය). එමෙන්ම ඔවුන්ට ඉගැන්වීමට සහ මග පෙන්වීමට එඬේරුන් යැවූ සේක (15 පදය). අප කොතරම් විශාල පාපයකට කොටුවී සිටියත් අපි දෙවියන්වහන්සේගෙන් කොතරම් ඈත් වූවත් අපගේ නොඇදහිලිවන්තකමින් අපව සුවපත් කිරීමට උන්වහන්සේ සුදානම් බව දැන ගැනීම කෙතරම් සැනසිලිදායකද! අප කළ යුත්තේ අපගේ වැරදි මාර්ග පිළිගැනීම සහ උන්වහන්සේගේ ශුද්ධාත්මයාණන්ට අපගේ හදවත් වෙනස් කිරීමට ඉඩ දීමත්ය.