මම හැදී වැඩුණු ඝාණාවේ ග්‍රාමීය නගරයේ වෙළඳ පොළ දිනය වූයේ සිකුරාදාය. වසර ගණනාවකට පසුව පවා මට තවමත් එක් වෙළෙන්දියක් සිහිපත් වන්නේය. ලාදුරු රෝගය නිසා ඇගේ අතේ ඇඟිලි සහ පාදවල ඇඟිලි ඛාදනය වී තිබුණි. ඇය ඇගේ පැදුර මත වැතිරී ඇගේ නිෂ්පාදන එකින් එක මල්ලෙන් ඉවතට ගත්තාය. සමහරු ඇයව මග හැරියහ. නිතිපතා ඇයගෙන් භාණ්ඩ මිළදී ගන්න මගේ මව අමතක කළේ නැත. මම ඇයව දුටුවේ වෙළඳ පොළ දිනයන්හී පමණි. ඉන් පසුව ඇය නගරයෙන් පිටත අතුරුදහන් වූවාය.

පුරාණ ඉශ්‍රායෙල්වරුන්ගේ කාලයේ ලාදුරු රෝග වැනි රෝගවලින් අදහස් කළේ “කඳවුරෙන් පිටත” ජීවත් වීමයි. එය දුක්ඛිත පැවැත්මකි. එවැනි අය ගැන ඉශ්‍රායෙල් නීතිය පැවසුවේ “ඔවුන් තනිව ජීවත් විය යුතුය” (ලෙවී කථාව 13:46) කියාය. කඳවුරෙන් පිටත පූජා කරන ලද ගොනුන්ගේ මළ කඳන් පුළුස්සා දමන ස්ථානයද (4:12) විය. කඳවරෙන් පිටත ජීවත් වීමට කිසි කෙනෙක් කැමති වූයේ නැත.

මෙම කටුක යථාර්ථය හෙබ්‍රෙව් 13 හි යේසුස්වහන්සේ ගැන කළ ප්‍රකාශයට ජීවය ගෙන දෙයි. “ඉතින් අපි උන්වහන්සේගේ නින්දාව දරා ගනිමින් කඳවුරෙන් පිටත උන්වහන්සේ වෙතට යමු” (13 පදය). යේසුස් වහන්සේව කුරුසියේ ඇණ ගසනු ලැබුවේ යෙරුසලමේ දොරටුවලින් පිටතය. අපි හෙබ්‍රෙව් පූජා ක්‍රමය අධ්‍යයනය කරන විට එය වැදගත් කරුණක් වන්නේය.

අපට අවශ්‍ය වන්නේ ජනප්‍රිය වීමට, ගෞරවයට පාත්‍රවීමට සහ සුවපහසු ජීවිතයක් ගත කිරීමටය. නමුත් “කඳවුරෙන් පිටත” අපකීර්තිය පවතින තැනට යන ලෙසට දෙවියන්වහන්සේ අපට ආරාධනා කරන සේක. ලාදුරු රෝගයෙන් පෙළුණ වෙළෙන්දිය අපට සොයා ගත හැකි වන්නේ එතැනදීය. ලෝකය විසින් ප්‍රතික්‍ෂේප කරන ලද අය සොයා ගත හැක්කේ එහිදීය. අපට යේසුස්වහන්සේව සොයා ගත හැක්කේ එහිදීය.