යුද්ධයේදී ලුයී සැම්පෙරිනිගේ හමුදා යානය මුහුදට කඩා වැටී යානයේ සිටි එකොළොස් දෙනෙකුගෙන් අට දෙනෙකු ජීවිතක්‍ෂයට පත්වූහ. ලුයි සහ තවත් දෙදෙනෙක් ජීවිතාරක්‍ෂක යාත්‍රාවලට නැග සිටියහ. ඔව්හු මෝරුන්ගෙන් බේරෙමින් කුණාටු තුළින් ගමන් කරමින් සතුරු ගුවන් යානාවල වෙඩි උණ්ඩ මග හරිමින් සහ අමු මාළු සහ කුරුල්ලන් අල්ලා ආහාරයට ගනිමින් මාස දෙකක් මුහුදේ පාවුණි. අවසානයේදී ඔවුන් දුපතකට ගසා ගෙන ගිය අතර වහාම සිර භාරයට ගන්නා ලදී. අවුරුදු දෙකක් තිස්සේ ලුයී පහර කෑමට ලක්ව වධ හිංසා විඳ යුද සිරකරුවෙක් ලෙසට අනුකම්කම්පා විරහිතව වැඩ කළේය. ඔහුගේ අපූරු කථාව “නොකැඩුණු” (Unbroken) යන පොතෙහි සඳහන් වන්නේය.

යෙරෙමියාද බයිබලයේ බිඳිය නොහැකි චරිතවලින් එකකි. ඔහු සතුරු කුමන්ත්‍රණ විඳ දරා ගත්තේය (යෙරෙමියා 11:18); කසයෙන් තළා දඬුකඳේ ගසන ලදී (20:2); සිර ගෙයක බැඳ තබන ලදී (37:15-16); ගැඹුරු මඩ වළකට ලණු වලින් බස්සවන ලදී (38:6). ඔහු දිවි ගළවා ගත්තේ දෙවියන්වහන්සේ ඔහු සමග සිට ඔහුව ගළවා ගන්නට පොරොන්දු වූ නිසාය (1:8). දෙවියන්වහන්සේ අපටත් එවැනිම පොරොන්දුවක් දෙන සේක : “මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි. කිසි අන්දමකින්වත් නුඹ අත් නොහරිමි (හෙබ්‍රෙව් 13:5). කරදර වලින් යෙරෙමියාව හෝ අපව හෝ ගළවා ගන්නා බවට දෙවියන්වහන්සේ පොරොන්දු වූයේ නැත. නුමුත් කරදර තුළින් අපව ඔසවා ගෙන යාමට උන්වහන්සේ පොරොන්දු වූ සේක.

දෙවියන්වහන්සේගේ ආරක්‍ෂාව ලුයී හඳුනා ගත් අතර යුද්ධයෙන් පසු ඔහු තම ජීවිතය යේසුස්වහන්සේට කැප කළේය. ඔහු තමාව අල්ලා ගත් අයට සමාව දී ඔවුන්ගෙන් කිහිප දෙනෙකු ක්‍රිස්තුස්වහන්සේ වෙතට ගෙන ආවේය. අපට සියලු ප්‍රශ්න මගහරවා ගත නොහැකි වුවද අපි තනිවම දුක් විඳිය යුතු නැති බව ලුයී තේරුම් ගත්තේය. අපි යේසුස්වහන්සේ සමග ඒවාට මුහණ දෙන විටදී අපව බිඳිය නොහැකිය.