අපගේ නිවෙස්වල තාක්‍ෂණයෙන් ඉතා දියුණු සන්නිවේදන උපකරණ තුළ සිටින ඇලෙක්සා, සිරි සහ වෙනත් හඬ සහායකයින් ඉඳ හිට අප පවසන දේ වරදවා තේරුම් ගන්නේය. සය හැවිරිදි දැරියක් ඇගේ නිවසේ සන්නිවේදන උපකරණයට බිස්කට් සහ බෝනික්කන්ගේ නිවසක් ගැන කථා කර ඇත. පසුව බිස්කට් රාත්තල් හතක් සහ ඩොලර් 170 ක් වටිනා බෝනික්කන්ගේ නිවසක ඇණවුමක් ඇගේ නිවසට යවා ඇති බවට මෙම දැරියගේ මවට විද්‍යුත් පණිවුඩයක් ලැබී ඇත. ලන්ඩනයේ කථා කරන ගිරවෙකු විසින් උගේ අයිතිකරු කිසිම දිනෙක අන්තර්ජාලය මගින් කිසිම ඇණවුමක් කර නොමැති නමුත් උගේ අයිතිකරු නොදැනුවත්වම අලංකාර තෑගි පෙට්ටි පැකේජයක් ඇණවුම් කර තිබුණි. එක් පුද්ගලයෙක් ඔවුන්ගේ සන්නිවේදන උපකරණයට “විසිත්ත කාමරයේ විදුලි පහන් සක්‍රීය කරන්න” කියා ඉල්ලා සිටි අතර උපකරණය පිළිතුරු දී ඇත්තේ “පුඩිං කාමරයක් නැත” කියාය.

දෙවියන්වහන්සේ සමග අප කථා කරන විට එවැනි වරදවා වටහා ගැනීමක් උන්වහන්සේ තුළ නැත. උන්වහන්සේ කිසි විටෙක ව්‍යාකූල නොවන්නේ උන්වහන්සේ අපටත් වඩා අපගේ හදවත් ගැන දන්නා හෙයිනි. ආත්මයාණන් වහන්සේ අපගේ හදවත් පරීක්‍ෂා කරන අතරම දෙවියන්වහන්සේගේ කැමැත්තත් තේරුම් ගන්නා සේක. පාවුල් තුමා රෝමයේ සභාවලට පැවසුවේ දෙවියන්වහන්සේ අපව පරිණත කිරීමට හා අපව උන්වහන්සේගේ පුත්‍රයාණන් හා සමාන කිරීමට උන්වහන්සේගේ යහපත් අරමුණ ඉටු කරන බවට පොරොන්දු වන බවයි (රෝම 8:28-29). “අපගේ දුර්වලකම” නිසා වර්ධනය වීමට අපට අවශ්‍ය දේ අප නොදන්නා විට ආත්මයාණන් වහන්සේ අප උදෙසා දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුව යාච්ඤා කරන සේක (26-27 පද).

දෙවියන්වහන්සේට ප්‍රකාශ කරන්නේ කෙසේද යන්න ගැන කරදර වන්නේද? යාච්ඤා කළ යුත්තේ කුමක් ගැනද යාච්ඤා කළ යුත්තේ කෙසේද කියා තේරුමක් නැතිව සිටින්නේද? ඔබට හදවතින්ම කිව හැකි දේ කියන්න. ආත්මයාණන් වහන්සේ තේරුම් ගෙන දෙවියන්වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කරන සේක.