තුන්වන පරම්පරාවේ ගොවියෙකු වන ජිම් “මාගේ නාමය කෙරෙහි භය ඇත්තාවූ…. නුඹලා නික්ම ගොස් ගාලේ වස්සන් මෙන් පනින්නහුය” (මලාකි 4:2) යන්න කියැවූ පසුව යේසුස්වහන්සේගේ සදාකාල ජීවනය ලබා දෙන ලෙස ඉල්ලා යාච්ඤා කළේය. තම ගව පැටවුන් උන්ගේ කූටියෙන් අධික වේගයෙන් පිටතට යාම ගැන සිහිපත් කළ ජිම් සැබෑ නිදහස ගැන දෙවියන්වහන්සේගේ පොරොන්දුව තේරුම් ගත්තේය.

ජිම්ගේ දියණිය මේ කථාව මට කීවේ අප මලාකි 4 හි නිරූපණය ගැන සාකච්ඡා කරමින් සිටින විටදීය. එහිදී දෙවියන්වහන්සේගේ නාමයට ගරු කරන හෝ උන්වහන්සේ කෙරෙහි විශ්වාසවන්තව සිටි අය සහ තමන් කෙරෙහි පමණක් විශ්වාසය තැබූ අය අතර වෙනසක් අනාගතවක්තෘ වරයා දැක්වීය (4:1-2). ආගමික නායකයන් ඇතුලු බොහෝ දෙනෙක් දෙවියන්වහන්සේට විශ්වාසවන්තව ජීවත් නොවී උන්වහන්සේගේ ප්‍රමිතීන් නොසළකා හැර ඇති අවස්ථාවක (1:2-14; 3:5-9) දෙවියන්වහන්සේව අනුගමනය කරන ලෙසට අනාගතවක්තෘ වරයා ඉශ්‍රායෙල්වරුන්ව දිරිගැන්වීය. මනුෂ්‍යයන්ට විශ්වාසවන්තව ජීවත්වන්න යයි මලාකි කීවේ ඉදිරි කාලයේදී දෙවියන්වහන්සේ මෙම කණ්ඩායම් දෙක අතර අවසාන වෙනස තීරණය කරන හෙයිනි. මෙම සන්දර්භය යටතේ පනින වස්සන්ගේ මන:කල්පිත චිත්‍රයක් මලාකි යොදා ගත්තේ “ධර්මිෂ්ඨකමේ සූර්්‍යයා ස්වකීය පියාපත්වල සුව කිරීම ඇතුව උදාවන්නේය” (4:2) යන අත්දැකීමෙන් යුතුව විශ්වාසවන්ත කණ්ඩායම ලබන කිව නොහැකි ප්‍රීිතිය ගැන විස්තර කිරීමටය.

සැබෑ නිදහස සියලු මිනිසුන්ට ලබා ගත හැකි බව ගැන කියැවෙන ශුභාරංචිය ගෙන එන යේසුස්වහන්සේ මෙම පොරොන්දුවේ අවසාන ඉටුවීම වන සේක (ලූක් 4:16-21). යම් දවසක දෙවියන්වහන්සේගේ අලුත් කරන ලද සහ නැවත පිහිටුවන ලද මැවීමේදී අපි මෙම නිදහස සම්පූර්ණයෙන්ම අත් විඳිනු ඇත. එහි විනෝද වීමට ලැබීම මොන තරම් ප්‍රීතියක් වනු ඇත්ද!