කෑම කාමරයේ වාඩිවී මා අවට තිබූ ප්‍රීති ඝෝෂාව දෙස බලා සිටියෙමි. ඒ නැන්දලා මාමලා, ඥාති සහෝදර සහෝදරියන්, ඥාති පුතුන් හා දුවරුන් ආහාර භුක්ති විඳිමින් පවුලේ නැවත එක්වීමේ සාදයට එක්වූ අවස්ථාවයි. මමත් ඒ සියල්ලම භුක්ති වින්දෙමි. නුමුත් එක් සිතුවිල්ලක් මාගේ හදවතට වේදනාවක් ගෙන දුන්නේය. දරුවන් නොමැති ඔබේම කියා පවුලක් නොමැති මෙහි සිටින එකම කාන්තාව ඔබයි යන සිතුවිල්ලයි.

මා වැනි බොහෝ තනිකඩ කාන්තාවන්ට ඒ හා සමාන අත්දැකීම් තිබේ. මගේ සංස්කෘතිය තුළ එනම් ආසියානු සංස්කෘතියක් තුළ විවාහය හා දරුවන් ඉතා අගය කොට සළකන අතර තමන්ගේම පවුලක් නො තිබීම අසම්පූර්ණ බවක හැඟීමක් ඇති කරයි. ඔබ කවුරුන්ද යන්න නිර්වචනය කර ඔබව සම්පූර්ණ කරන යමක් නොමැති බවට ඇති වන හැඟීමකි.

දෙවියන්වහන්සේ “මාගේ කොටස” වීම පිළිබඳ සත්‍යය මට එතරම් සැනසීමක් ගෙන දෙන්නේ එබැවිනි (ගීතාවලිය 73:26). ඊශායලයේ ගෝත්‍රවලට ඉඩම් ලබා දෙන විට ලෙවී පූජක ගෝත්‍රයේ කිසිවෙකුට ඉඩම් නොලැබුණි. ඒ වෙනුවට දෙවියන්වහන්සේම ඔවුන්ගේ කොටස හා උරුමය වන බවට උන්වහන්සේ ඔවුන්ට පොරොන්දු වූ සේක (ද්වීථීය කථාව 10:9). ඔවුන්ට උන්වහන්සේ තුළ සම්පූර්ණ තෘප්තියක් ලබා ගත හැකි අතර ඔවුන්ගේ සෑම අවශ්‍යතාවයක්ම ඉටු කිරීමට උන්වහන්සේව විශ්වාස කළ හැකි වුනි.

අපන් සමහරෙකුට හිඟකම පිළිබඳ හැඟීමට පවුල සමග කිසිදු සම්බන්ධයක් නොතිබිය හැකිය. සමහර විට අපි වඩා හොඳ රැකියාවක් හෝ උසස් අධ්‍යාපනික ජයග්‍රහණයක් අපේක්‍ෂා කරනවා විය හැකිය. අපගේ තත්ත්වය කුමක් වූවත් අපට අපගේ කොටස ලෙස දෙවියන්වහන්සේව වැළඳ ගත හැකිය. උන්වහන්සේ අපව සම්පූර්ණ කරන සේක. උන්වහන්සේ තුළ අපට කිසිදු හිඟයක් නැත්තේය.