ඇනීටා සිය අනූවන උපන් දිනය දා නිදා සිටියදීම මිය ගිය විට ඇය මෙලොවින් පිටත්වීමේ නිහඬතාවය ඇගේ ජීවිතයේ නිහඬතාවය පිළඹිබු කළේය. වැන්දඹු කාන්තාවක් වූ ඇය තම දරුවන් හා මුණුබුරන් වෙනුවෙන් කැපවී සිටි අතර දේවස්ථානයේ තරුණ කාන්තාවන්ට මිතුරියක්ද වූවාය.

ඇනීටා විශේෂයෙන් දක්‍ෂතාවයන්හි හා ජයග්‍රහණයන්හි කැපී පෙණුනේ නැත. නමුත් දෙවියන්වහන්සේ කෙරෙහි තිබුණු ඇයගේ ගැඹුරු ඇදහිල්ල ඇයව හඳුනන අය තුළ පෙළඹවීමක් ඇති කළේය. මගේ මිතුරියක් කියා සිටියේ “ගැටළුවක් සම්බන්ධයෙන් කුමක් කළ යුතුදැයි මා නොදන්නා විට මම ප්‍රසිද්ධ දේශකයෙකුගේ හෝ කතුවරයෙක්ගේ වචන ගැන නොසිතමි. ඒ ගැන ඇනීටා කියන්නේ කුමක්දැයි මම සිතමි” යනුවෙනි.

අපෙන් බොහෝ දෙනෙක් ඇනීටා මෙන් සාමාන්‍ය ජීවිත ගත කරන සාමාන්‍ය මිනිසුන් වන්නෙමු. අපගේ නම් කිසි විටෙකත් ප්‍රවෘත්තිවල සඳහන් නොවන අතර අපගේ ගෞරවය වෙනුවෙන් සිහිවටනද ඉදි නොකෙරෙනු ඇත. නමුත් යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත් වූ ජීවිතයක් කිසි විටෙකත් සාමාන්‍ය ජීවිතයක් වන්නේ නැත. හෙබ්‍රෙව් 11 හි ලැයිස්තු ගත කර ඇති සමහර පුද්ගලයින් නම් වශයෙන් සඳහන් කර නැත (35-38 පද). ඔවුන් ඇදහිලි මාවතේ ගමන් කළ අතර මේ ජීවිතයේදී ඔවුන්ට පොරොන්දු වී තිබුණු ත්‍යාගයන් නොලැබුවෝය (39 පදය). එහෙත් ඔවුන් දෙවියන්වහන්සේට කීකරු වූ නිසා ඔවුන්ගේ ඇදහිල්ල නිෂ්ඵල නොවීය. ඔවුන්ගේ ජීවිත කිසි කෙනෙකුගේ අවධානයට ලක් නොවූවත් දෙවියන්වහන්සේ ඔවුන්ගේ ජීවිත ඉන් ඔබ්බට ගෙන ගිය සේක (40 පදය).

ඔබේ ජීවිතයේ සාමාන්‍ය තත්ත්වය ලෙස ඔබ අධෛර්යයට පත් වන්නේ නම් දෙවියන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත් වූ ජීවිතයක් සදාකාලයටම බලපාන බව මතක තබා ගන්න. අප සාමාන්‍ය වූවත් අපට අසාමාන්‍යය විශ්වාසයක් තිබිය හැකිය.