“ඉතින් ඔබ කියන්නේ එය මගේ වරදක් නොවේ කියාද”. කාන්තාවගේ වචන මා මවිතයට පත් කළාය. ඇගේ දේවස්ථානයේ ආගන්තුක කථිකයෙක් ලෙසට එදින උදෑසන මා බෙදා ගත් දේ ගැන අපි සාකච්ඡා කරමින් සිටියෙමු. “මට නිදන්ගත රෝගයක් තිබේ” ඇය කීවාය. “මම යාච්ඤා කළෙමි. නිරාහාරව සිටියෙමි. මගේ පාපයන් පාපෝච්චාරණය කර සුවය ලැබීමට මට පැවසූ සෑම දෙයක්ම කළෙමි. නමුත් මම තවමත් අසනීපයෙන් සිටිමි. ඉතින් මම සිතුවේ වරද මගේ කියාය”.

කාන්තාවගේ පාපෝච්චාරණය ගැන මට දුකක් ඇති වුනි. ඇගේ ගැටලුව සඳහා අධ්‍යාත්මික “සූත්‍රයක්” ලබා දී තිබුණත් සූත්‍රය ක්‍රියාත්මක නොවූ විට ඇය තමාටම දොස් පවරා ගත්තාය. ඊටත් වඩා භයානක දෙය නම් දුක් විඳීම ගැන මෙම සූත්‍රමය ප්‍රවේශය පරම්පරා ගණනාවකට පෙර ප්‍රතික්‍ෂේප කර තිබීමයි.

සරලව කිවහොත් මෙම පැරණි සූත්‍රයේ සඳහන් වන්නේ ඔබ වේදනා විඳීන්නේ නම් ඔබ පව් කර ඇති බවයි. යෝබ්ට ඔහුගේ පශු සම්පත්, දරුවන් සහ සෞඛ්‍යය ඛේදජනක ලෙස අහිමි වූ විට ඔහුගේ මිතුරන් මෙම සූත්‍රය ඔහු පිළිබඳවද භාවිතා කළහ. යෝබ්ගේ වරද ගැන සැක කරමින් “නිදොස්ව සිට විනාශ වූයේ කවුද?” කියා එලිපාස් පැවසීය (යෝබ් 4:7). බිල්දාද් පවා යෝබ්ට කියා සිටියේ ඔහුගේ දරුවන් මිය ගියේ ඔවුන් දෙවියන්වහන්සේට විරුද්ධව පව් කළ නිසා බවයි (8:4). යෝබ්ගේ විපත්වලට සැබෑ හේතුව නොදැන සිටි ඔව්හු (1:6-2:10) සරල හේතූන්ගෙන් ඔහුට වධ දුන් අතර පසුව දෙවියන්වහන්සේගෙන් තරවටු ලැබූහ (42:7).

දුක් විඳීම යනු වැටුණු ලෝකයක ජීවත් වීමේ කොටසකි. යෝබ්ට මෙන් අප නොදන්නා හේතු නිසා එය සිදු විය හැකිය. නමුත් ඔබ විඳ දරා ගන්නා වේදනාවන්ගෙන් ඔබ්බට ගිය අරමුණක් දෙවියන්වහන්සේට ඇත. සරල සූත්‍ර නිසා අධෛර්යමත් නොවන්න.