මම මගේ දේවස්ථානයේ සභා සත්කාරක කණ්ඩායමේ සේවය කරන විට මගේ රාජකාරියක් වූයේ සේවා කාලය තුළ බංකුවල තිබූ කාඞ්පත් වල ලියා තිබූ යාච්ඤා ඉල්ලීම් සඳහා යාච්ඤා කිරීමය. නැන්දම්මාගේ සෞඛ්‍ය සඳහා, යුවළකගේ මුදල් අවශ්‍යතාවයක් සඳහා, මුණුපුරා දෙවියන්වහන්සේව දැන ගැනීම සඳහා යන්න ඒවායින් සමහරකි. මෙම යාච්ඤාවල ප්‍රතිඵල මට අසන්න ලැබුණේ කලාතුරකිනි. බොහෝ ඒවා නිර්නාමික වූ අතර දෙවියන්වහන්සේ ප්‍රතිචාර දැක්වූයේ කෙසේදැයි දැන ගැනීමට මට ක්‍රමයක් නොතිබුණි. උන්වහන්සේ ඇත්තටම සවන් දුන්නාද? මගේ යාච්ඤාවේ ප්‍රතිඵලයක් වශයෙන් යමක් සිදුවුනාද? කියා සමහර විට මම සිතන බවට මම පාපෝච්චාරණය කරමි.

“දෙවියන්වහන්සේ මට සවන් දෙනවාද?” කියා අපගේ ජීවිත කාලය පුරාම අපගේන් බොහෝ දෙනෙක් ප්‍රශ්න කරති. දරුවෙක් වෙනුවෙන් හන්නා ආයාචනා කළාක් මෙන් වූ මගේම කන්නලව් වලට වසර ගණනාවකින් පිළිතුරු නොලැබීම ගැන මට සිහිපත් වුනි. මගේ පියා ඇදහිල්ල සොයා ගන්නා පිණිස වූ මගේ ආයාචනා තිබුණි. නමුත් ඔහු මිය ගියේ පැහැදිළිව පෙණුනු පාපෝච්චාරණයක් නොමැතිවය.

ගණන් නැති සහස්‍ර වර්ෂ ගණනාවක් පුරා සවන් දීමට දෙවියන්වහන්සේගේ කන් නැඹුරු වූ අවස්ථාවන් තිබුණි: වහල් භාවය යටතේ ඊශ්‍රායලයේ කෙඳිරි ගෑමට (නික්මයාම 2:24); සීනයි කන්ද මත මෝසෙස්ට (ද්වීථීය කථාව 9:19); ගිල්ගාල්හි යෝෂුවාට (යෝෂුවා 10:14); දරුවෙක් වෙනුවෙන් වූ හන්නාගේ යාච්ඤාවට (1 සාමුවෙල් 1:10-17); සාවුල්ගෙන් ගැළවීම ඉල්ලා මොර ගැසූ දාවිත්ට (2 සාමුවෙල් 22:7) යන අවස්ථාවන්ය.

පළමුවන යොහන් 5:14 අපි වෙනත් වචන වලින් කිවහොත් “අපි උන්වහන්සේගේ කැමැත්ත අනුව යමක් ඉල්ලුවොත් උන්වහන්සේ අපට සවන් දෙන්නේය” යන්නයි. “සවන් දෙයි” යන වචනයේ තේරුම නම් අවධානය යොමු කිරීමත් සහ ඇසීමේ පදනම මත ප්‍රතිචාර දැක්වීමත්ය.

අද අපි දෙවියන්වහන්සේ වෙතට යන විට උන්වහන්සේගේ සෙනගගේ ඉතිහාසය පුරා විහිදී යන උන්වහන්සේගේ සවන් දීමේ කන් ගැන අපට විශ්වාසයක් ඇති වේවා. උන්වහන්සේ අපගේ ආයාචනා අසන සේක.