අපගේ පළමු දරුවා වූ පුතා ඉපදී මාස දහ හතකට පසු කුඩා දියණියක් උපන්නේය. දියණියක් ලැබීම ගැන මම අතීශයින් සතුටට පත්වූ නමුත් තරමක් නොසන්සුන් වූයේ කුඩා පිරිමි ළමුන් ගැන කරුණු කිහිපයක් දැන සිටි හෙයිනි. නමුත් මෙය අඥාන සිතුවිල්ලකි. අපි ඇයට සාරා කියා නම් තැබුවෙමි. මගේ බිරිඳට විවේක ගත හැකි වන පරිදි ඇයව නිදිකරවීම මා ලැබූ වරප්‍රසාද වලින් එකකි. හේතුවක් නොදැන සිටියත් මම ඇයව නිදි කරවීමට ගායනා කරන්න පටන් ගත්තෙමි. මම තෝරා ගත් ගීතය නම් “ඔබ මාගේ හිරු එළියයි” (You are my sunshine) යන්නයි. ඇයව මගේ අත්වල රඳවා ගෙන සිටියත් ඇගේ තොටිල්ල අසළ සිටගෙන සිටියත් මම වචනානුසාරයෙන් ඇය ගැන ගායනා කළ අතර ඒ සෑම විනාඩියකටම මම ප්‍රේම කළෙමි. ඇය දැන් විසි ගණන් වල පසු වූවත් මම තවමත් ඇයට කථා කරන්නේ “හිරු එළිය” (sunshine) යනුවෙනි.

අපි සාමාන්‍යයෙන් දේවදුතයන්ගේ ගායනාවන් ගැන සිතන්නෙමු. නමුත් දෙවියන්වහන්සේ ගායනා කරනවා කියා ඔබ අවසන් වරට සිතුවේ කවදාද? ඒක සැබෑවකි. දෙවියන්වහන්සේ ගායනා කරන සේක. තවද උන්වහන්සේ ඔබ ගැන ගායනා කරන බව අවසන් වරට ඔබ සිතුවේ කවදාද? ශෙපනියා යෙරුසලමට යැවු පණිවුඩයෙන් පැහැදිළි වන්නේ : “උන්වහන්සේ සන්තෝෂයෙන් නුඹ කෙරෙහි ප්‍රීතිවී තමුන්ගේ ප්‍රේමයෙහි නිශ්චලව සිටින සේක. ප්‍රීති ඝෝෂාවෙන් නුඹ කෙරෙහි ප්‍රීතිමත් වන සේක” (3:17) යනුවෙනි. මෙම පණිවුඩය යෙරුසලමට සෘජුව කථා කළත් දෙවියන්වහන්සේ අප ගැනත් එනම් යේසුස්වහන්සේව අපගේ ගැළවුම්කරුවාණන් ලෙස පිළිගත් අය ගැනත් උන්වහන්සේ ප්‍රීතිමත් වන සේක. උන්වහන්සේ ගායනා කරන ගීතය කුමක්ද? දේව වචනයේ මෙය ගැන පැහැදිළි කිරීමක් නැත. නමුත් එම ගීිතය උන්වහන්සේගේ ප්‍රේමයෙන් උපන් ගීතයක් වූ බැවින් එය සත්‍යය හා උතුම් හා නිවැරදි හා නිර්මල හා ආදරණීය හා ප්‍රශංසනීය යැයි අපට විශ්වාස කළ හැකිය (පිලිප්පි 4:8).