යොවුන් කල්ලියක නායක කේසි සහ ඔහුගේ අනුගාමිකයන් ගෙවල් සහ මෝටර් රථ තුළට කඩා වැදී වෙළඳ සැල්ද කොල්ල කෑ අතර වෙනත් කල්ලි සමගද සටන් කළහ. අවසානයේදී කේසි අත් අඩංගුවට පත්වී දඬුවම් ලැබූවේය. සිරගෙදරදී ඔහු කැරළි කෝලාහලවලදී ගෙදරදී සෑදු පිහි ලබා දෙන සැපයුම් කරුවෙක් බවට පත් විය.

ටික කලකට පසුව ඔහුව හුදකලා සිර කූඩුවක තබන ලදී. කේසි සිය සිර මැදිරියේ දවල් සිහින දකිමින් සිටියදී තම ජීවිතයේ ප්‍රධාන සිදුවීම් නැවත නැවත දකින ආකාරයේ චිත්‍රපටියක් අත් විඳින ලදී. තවද යේසුස් වහන්සේ කුරුසිය වෙතට ගෙන යන ආකාරය සහ කුරුසිය මත ඇණ ගසනවාද “මම මෙය කරන්නේ ඔබ වෙනුවෙන්” යනුවෙන් යේසුස්වහන්සේ කියනවාද ඔහු දුටුවේය. කේසි හඬමින් බිම වැටී ඔහුගේ පාප පාපෝච්චාරණය කළේය. පසුව ඔහු තම අත්දැකීම් දේවගැතිවරයෙක් සමග බෙදාගත් අතර දේවගැති තුමා යේසුස්වහන්සේ ගැන තවදුරටත් ඔහුට විස්තර කර බයිබලයක්ද ඔහුට ලබා දුන්නේය. “මගේ ඇදහිල්ලේ ගමනේ ආරම්භය එයයි” කියා කේසි පැවසීය. අවසානයේදී ඔහුව නැවතත් ප්‍රධාන සිර ගෙයට මාරු කළ අතර කේසිගේ ඇදහිල්ල නිසා ඔහුට බොහෝ පීඩාවන්ට මුහුණ දෙන්න සිදු වුනි. නමුත් ඔහුට සමාදානයක් දැණුනි. එයට හේතුව වූයේ “යේසුස්වහන්සේ ගැන අනෙක් සිරකරුවන්ට පැවසීමට හැකි වන නව කැඳවීමක්” ඔහු ලැබූ නිසාය.

අපෝස්තලු පාවුල් තිමෝතිට ලියූ ලිපියේ ජීවිත වෙනස් කිරීමට ක්‍රිස්තුස්වහන්සේට ඇති බලය ගැන කථා කරයි. යේසුස්වහන්සේව අනුගමනය කිරීමට හා සේවය කිරීමට දෙවියන්වහන්සේ අපගේ වැරදි ක්‍රියාවලින් අපව කැඳවන සේක (2 තිමෝති 1:9). ඇදහිල්ලෙන් අපි උන්වහන්සේව පිළිගන්නා විට ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයේ ජීවමාන සාක්‍ෂිකරුවන් වීමට අප තුළ කැමැත්තක් ඇති වන්නේය. ශුභාරංචිය බෙදා ගැනීමේදී අපි පීඩා විඳින විට පවා ශුද්ධාත්මයාණන්වහන්සේ එසේ කිරීමට අපට හැකියාව ලබා දෙන සේක (8 පදය). කේසි මෙන් අපි අපගේ නව කැඳවීම අනුව ජීවත් වෙමු.