දේවගැතිවරයෙක් වු ප්‍රිස්ගේ පියා ඉන්දුනීසියාවේ කුඩා දූපතක ධර්මදූත සේවයක් සඳහා පුරෝගාමී වීමට දෙවියන්වහන්සේ කළ කැඳවීමට පිළිතුරු දුන් විට ප්‍රිස්ගේ පවුල වාසය කළේ කලින් සතුන් ඇති කිරීම සඳහා පාවිච්චි කරන ලද මඩුවකය. බිම වාඩිවී ප්‍රශංසා ගී ගායනා කරමින් නත්තල් උත්සවය සමරද්දී හිල්වී තිබුණු වහලය තුළින් වැසි වතුර වැක්කෙරෙන අයුරු ප්‍රිස් සිහිපත් කළාය. නමුත් ඇගේ පියා ඇයට මතක් කර දුන්නේ “ප්‍රිස්, අපි දුප්පත් වීමෙන් අදහස් කරන්නේ දෙවියන්වහන්සේ අපට ප්‍රේම කරන්නේ නැහැ කියන එක නොවෙයි” කියාය.

ධනය, සෞඛ්‍යය හා දීර්ඝායුෂයෙන් පිරුණු ජීවිතයක් දෙවියන්වහන්සේගෙන් ආශිර්වාද ලත් ජීවිතයක් ලෙසට සමහර අයට පෙනේ. එසේ හෙයින් දුෂ්කර කාලවලදී දෙවියන්වහන්සේ ඔවුන්ට තවමත් ප්‍රේම කරනවාදැයි ඔවුන් කල්පනා කළ හැකිය. නමුත් රෝම 8:31-39 හි පාවුල් තුමා අපට සිහිපත් කර දෙන්නේ කරදර, දුෂ්කරතා, පීඩා සහ සාගත ඇතුලුව යේසුස්වහන්සේගේ ප්‍රේමයෙන් අපව වෙන් කළ හැකි කිසිවක් නොමැති බවයි (35 පදය). සැබවින්ම ආශිර්වාදලත් ජිවිතයකට අත්තිවාරම එයයි. දෙවියන්වහන්සේ අප කෙරෙහි ඇති ප්‍රේමය පෙන්වූයේ අපගේ පාප උදෙසා මිය යාමට තමන් පුත් යේසුස්වහන්සේව එවීමෙනි (32 පදය). ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උත්ථාන වූ අතර දැන් පියාණන් වහන්සේගේ දකුණු පැත්තේ හිඳ ගෙන අප වෙනුවෙන් මැදිහත් කම් කරන සේක (34 පදය).

පීඩා කාලවලදී ක්‍රිස්තුස්වහන්සේ අප වෙනුවෙන් කර ඇති දේ තුළ අපගේ ජීවිතය මුල් බැස ඇතය යන සත්‍යය අපට තදින් අල්ලා ගත හැකිය. කිසිම දෙයකට – මරණයටවත් ජීවිතයටවත් – සියලුම මැවිල්ලේ වෙන කිසිම දෙයකටවත් (38-39 පද) උන්වහන්සේගේ ප්‍රේමයෙන් අපව වෙන් කළ නොහැකිය. අපගේ තත්ත්වය කුමක් වුවත් අපගේ දුෂ්කරතා කුමක් වූවත් දෙවියන්වහන්සේ අප සමග සිටින බවත් කිසිම දෙයකින් අපව උන්වහන්සේගෙන් වෙන් කළ නොහැකි බවත් අපට සිහිපත් කෙරේවා.