අවසානයේ ඇයට දේවස්ථානයට යෑමට අවස්ථාවක් ලැබුණි. පහළ මාලයේ ගැඹුරුම කොටසේ කුඩා ගුහාව හෝ ලෙන වෙතට ඇය ළඟා වූවාය. පටු අවකාශය පුරා ඉටි පන්දම් දල්වා තිබූ අතර එල්ලෙන ලාම්පු මෙම ගුහාවේ කොණක් ආලෝකමත් කළේය. කිරි ගරුඬ තට්ටුවේ ඉහළට ඔසවා තැබූ තුඩු දහහතරකින් යුත් රිදී තාරකාවක් එහි තිබුණි. ඇය සිටියේ බෙත්ලෙහෙමේ “ද ග්‍රොටෝ ඔෆ් නැටිවිටි” යනුවෙන් සම්ප්‍රදායට අනුව හැඳින්වෙන ක්‍රිස්තුස්වහන්සේ ඉපදුන ස්ථානය සළකුණු කරන ස්ථානයේය. එම ස්ථානයට වඩා දෙවියන් වහන්සේ විශාල යයි වටහා ගත් ඇනී ඩිලාර්ඞ්ට එයින් ලැබුණු හැඟීම අල්ප විය.

කෙසේ වෙතත් එවැනි ස්ථාන සැම විටම අපගේ ඇදහිල්ලෙහි විශාල වැදගත්කමක් දරන්නේය. එවැනි තවත් ස්ථානයක් වන්නේ යේසුස්වහන්සේ සහ ළිඳ අසළ සිටි ස්ත්‍රිය අතර සංවාදයේ ඇගේ “මුතුන් මිත්තන් නමස්කාර කළ කන්ද” (යොහන් 4:20) වන ගෙරිසිම් කන්ද ගැන සඳහන් කිරීමයි (ද්වීථීය කථාව 11:29). එය සමාරියයන්ට පාරිශුද්ධ වූ අතර යුදෙච්වන් කියා සිටියේ සැබෑ නමස්කාරය සිදු වූ ස්ථානය යෙරුසලම කියාය (20 පදය). කෙසේ වෙතත් යේසුස්වහන්සේ ප්‍රකාශ කළේ නමස්කාරය තවදුරටත් ස්ථානයකට යොමු නොවන බවත් එය පුද්ගලයෙක්ට යොමු වන කාලය පැමිණ ඇති බවත්ය. “සැබෑ නමස්කාර කරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද පියාණන්වහන්සේට නමස්කාර කරන කාලය පැමිණෙන්නේය” (23 පදය). ස්ත්‍රිය මෙසියස් කෙරෙහි තම ඇදහිල්ල ප්‍රකාශ කළ නමුත් ඇය කථා කරමින් සිටින්නේ ඔහු සමග බව දැන නොසිටියාය. “නුඹ සමග කථා කරන මම උන්වහන්සේයයි යේසුස්වහන්සේ ඈට කී සේක” (26 පදය).

දෙවියන්වහන්සේ කිසිදු කන්දකට හෝ භෞතික අවකාශයකට සීමා නොවේ. උන්වහන්සේ සෑම තැනම අප සමග සිටින සේක. සෑම දිනකම අප කරන සැබෑ වන්දනාව නම් උන්වහන්සේගේ සිංහාසනයට ළංවී “අපගේ පියාණෙනි” කියා එඩිතරව පවසන විට උන්වහන්සේ එම ස්ථානයේ සිටීමය.