තම ආදරණීය දරුවා ලෙස තම අනන්‍යතාවය වැළඳ ගැනීමට දෙවියන්වහන්සේ ඇයට උපකාර කළ ආකාරය එමා බෙදා ගත් විට ඇය අපගේ සංවාදයට දේව වචනය එකතු කළාය. උසස් පාසැල් සිසුවිය ඇගේ වචන කථා කිරීම නවතා දෙවියන්වහන්සේගේ වචන උපුටා දැක්වීමට පටන් ගත්තේ කොහෙන්දැයි මට සිතා ගත නොහැකි වුනි. ඇය ඇවිදින බයිබලයක් මෙන් වීම ගැන මම ඇයට ප්‍රශංසා කළ විට ඇගේ ඇහි බැමි රැළි ගැසුණි. ඇය හිතාමතාම දේව වචනයේ පද කියවන්නට සිටියේ නැත. නමුත් දිනපතා බයිබලය කියවීම තුළින් එහි ඇති ප්‍රඥාව එමාගේ එදිනෙදා වචන මාලාවේ කොටසක් බවට පත්ව තිබුණි. දෙවියන්වහන්සේගේ නිරන්තර අභිමුඛය ගැන ඇය ප්‍රීති වූ අතර උන්වහන්සේගේ සත්‍යය අන් අය සමග බෙදා ගැනීමට උන්වහන්සේ දුන් සෑම අවස්ථාවක්ම භුක්ති වින්දාය. යාච්ඤාවෙන් යුතුව දේව වචනය කියවීමටත් කට පාඩම් කිරීමටත් දේව වචනය ක්‍රියාවට නැංවීමටත් අන් අයට බලපෑමක් කිරීමට දෙවියන්වහන්සේ පාවිච්චි කළ පළමු තරුණිය ඇය නොවේ.

තිමෝතිව නායකත්වයට පත්වීමට දිරි ගැන්වූ විට පාවුල් මේ තරුණයා කෙරෙහි විශ්වාසය තැබීය (1 තිමෝති 4). තිමෝති බිළිඳු අවදියේ සිටම දේව වචනය ගැඹුරින් වටහා ගෙන තිබූ බ ව පාවුල් පිළිගත්තේය (2 තිමෝති 3:15). පාවුල් මෙන් තිමෝතිද සැකකරන්නන්ට මුහුණ දුන්නේය. කෙසේ වෙතත් දෙදෙනාම ජීවත් වූයේ මුළු ශුද්ධ ලියවිල්ලම “දේවානුභාවයෙන් ලියා” තිබේය යැයි විශ්වාස කරන ආකාරයටය. ඔවුන් දේව වචනය පිළිගත්තේ “දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණව සියලු යහපත් ක්‍රියාවලට සුදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ” (16-17 පද) කියාය.

දෙවියන්වහන්සේගේ ප්‍රඥාව අපගේ හදවත් තුළ සඟවන විට උන්වහන්සේගේ සත්‍යය හා ප්‍රේමය අපගේ සංවාදවලට ස්වභාවයෙන්ම ගලා යා හැකිය. අපි කොහේ ගියත් දෙවියන්වහන්සේගේ සදාකාලික බලාපොරොත්තුව බෙදා ගන්නා ඇවිදින බයිබලයක් මෙන් වීමට අපට හැකිය.