දෙවියන්වහන්සේගේ කැමැත්ත අනුගමනය කිරීම සමහර විට දුෂ්කරය. උන්වහන්සේ අපට කියන්නේ නිවැරදි දේ කරන්න කියාය. පැමිණිලි නොකර දුෂ්කරතාවයන් දරා ගන්න උන්වහන්සේ අපට කියන සේක. නුසුදුසු මිනිසුන්ට ප්‍රේම කිරීමට, මෙසේ නොකරන්න කියා අප තුළින් ඇසෙන හඬට සවන් දීමට, අප කිසිවිටෙක නොගන්නා පියවරයන් ගැනීමට යනාදී වශයෙනි. එම නිසා අප මුළු දවස පුරා අපගේ ආත්මයට පැවසිය යුත්තේ “මාගේ ආත්මය සවන් දෙන්න. නිශ්චල වන්න. යේසුස්වහන්සේ ඔබට කරන්න කියා කියන දෙය කරන්න” යනුවෙනි.

“මාගේ ආත්මය දෙවියන්වහන්සේ කෙරෙහි පමණක් බලා සිටියි” (ගීතාවලිය 62:1). “මාගේ ආත්මය දෙවියන් වහන්සේ කෙරෙහි පමණක් බලා සිටුව” (5 පදය). පද සමාන යයි කියා පෙණුනත් ඒවා වෙනස්ය. දාවිත් ඔහුගේ ආත්මය ගැන යමක් පවසයි. “පමණක් බලා සිටියි” යන්නෙන් නිරවුල් මනසකින් ගන්නා ලද තීරණයක් ගැන කියයි. “පමණක් බලා සිටුව” එම තීරණය මතක තබා ගැනීමට ඔහුගේ ආත්මය අවුස්සයි.

දාවිත් නිහඬව ජීවත් වීමට තීරණය කරයි. දෙවියන්වහන්සේගේ කැමැත්තට නිහඬව යටත් වීමයි. මෙය අපගේ කැඳවීමද වන අතර අපව මැව්වේ මේ දෙයටයි. “මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත සිදු වේවා” (ලූක් 22:42) යි අප එකඟ වන විට අප තුළ සමාදානය ඇති වන්නේය. උන්වහන්සේ අපගේ ස්වාමීන්වහන්සේ සහ අපගේ ගැඹුරුම ආශාවන්ගේ මූලාශ්‍රය කර ගත් විට අපගේ පළමු හා ඉහළම කැඳවීම වන්නේ එයයි. “මාගේ දෙවියන්වහන්ස, ඔබගේ කැමැත්ත කරන්ට ප්‍රිය වෙමි” (ගීතාවලිය 40:8) කියා ගීතිකාකරු කිීවේය.

ඇත්තෙන්ම “අපේ බලාපොරොත්තුව පැමිණෙන්නේ උන්වහන්සේගෙන්” නිසා අපි සෑම විටම දෙවියන් වහන්සේගේ පිහිට පැතිය යුතු වන්නෙමු (ගීතාවලිය 62:5). අපි උන්වහන්සේගෙන් උපකාර ඉල්ලූ විට උන්වහන්සේ අපට එය ලබා දෙන සේක. උන්වහන්සේ නොකරන හෝ කළ නොහැකි දෙයක් කිරීමට කිසි විටෙකත් දෙවියන්වහන්සේ අපෙන් ඉල්ලන්නේ නැත.