ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමට විරුද්ධ වූ පිලිපීනයේ ගෝත්‍රයක හැදී වැඩුණු එස්තර් ජීවිතයට තර්ජනාත්මක අසනීපයකින් පෙළෙමින් සිටි මොහොතක එස්තර්ගේ නැන්දා ඇය වෙනුවෙන් යාඤචා කිරීමෙන් පසු යේසුස්වහන්සේ තුළින් ගැළවීම ලැබීය. ප්‍රචණ්ඩකාරී සහ මරණ තර්ජන මධ්‍යයේ වුවද අද එස්තර් ප්‍රාදේශීය ප්‍රජාව තුළ බයිබල් පාඩම් මෙහෙයවයි. ඇය ප්‍රීතියෙන් සේවය කරන අතර “මගේ ජීවිතය තුළ දෙවියන්වහන්සේගේ බලය, ප්‍රේමය, යහපත්කම සහ විශ්වාසවන්තභාවය අත්විඳ ඇති හෙයින් යේසුස් වහන්සේ ගැන මිනිසුන්ට පැවසීම මට නතර කළ නොහැක” යැයි පැවසුවාය.

බැබිලෝනියේ වහල්භාවයේ සිටි තරුණ ඊශ්‍රායෙල් ජාතිකයන් තුන් දෙනෙක් වන ෂද්‍රක්, මේෂක් සහ අබෙද්නෙගෝ මෙන් විරුද්ධවාදීකම් මධ්‍යයේ දෙවියන්වහන්සේට සේවය කිරීම අද බොහෝ දෙනෙකුට සත්‍යයකි. දානියෙල් පොතේ අපට ඉගෙන ගත හැක්කේ මරණ තර්ජනයක් එල්ල වුවද ඔවුන් නෙබුකද්නෙශර් රජුගේ විශාල රන් ප්‍රතිමාවට යාච්ඤා කිරීම ප්‍රතික්‍ෂේප කළ බවයි. දෙවියන්වහන්සේට තමන්ව ආරක්‍ෂා කිරීමට හැකියාව ඇති බවට එම මිනිසුන් සාක්‍ෂි දුන් අතර උන්වහන්සේ “එසේ නොකළත්” උන්වහන්සේට සේවය කිරීමට ඔවුහු තෝරා ගත්හ (දානියෙල් 3:18). ඔවුන්ව ගින්නට විසි කළ විට උන්වහන්සේ ඔවුන්ගේ වේදනාවට ඔවුන් හා එක්වූ සේක (25 පදය). සෑම කෙනෙක්ගේම පුදුමයට හේතු වූයේ ඔවුන්ගේ “හිසකේවත් නොදැවී” ඔවුන් දිවි ගළවා ගත් අවස්ථාවේදීය (27 පදය).

ඇදහිල්ලේ ක්‍රියාවක් නිසා අපි දුක් විඳීමට හෝ හිංසා පීඩාවලට මුහුණ පෑමට හෝ සිදුවුවහොත් දෙවියන් වහන්සේට අප කීකරු වීමට තෝරා ගත් විටදී අපි බලාපොරොත්තු වෙනවාට වඩා වෙනස් ලෙසට අපව ශක්තිමත් කිරීමට හා ආරක්‍ෂා කිරීමට දෙවියන්වහන්සේගේ බලය අප සමග තිබෙන බව පැරණි හා නවීන උදාහරණ අපට මතක් කර දෙන්නේය.