මගේ මිතුරිය මා ඇයගෙන් ගත් ඡායාරූප සමාලෝචනය කරන විට අඩුපාඩු ලෙස ඇය දුටු භෞතික ලක්‍ෂණ ඇය මට පෙන්වා දුන්නාය. එම ඡායාරූප තවත් ළඟින් බලන්න යැයි මම ඇයට කීවෙමි. “සර්ව බලධාරී රජුන්ගේත් රජුගේ ලස්සන සහ ප්‍රේමණීය දියණියක් මම දකිමි”යි මම කීවෙමි. “අවංකකම, කරුණාවන්තකම, ත්‍යාගශීලිකම සහ විශ්වාසවන්තකම තුළින් බොහෝ ජීවිතවල වෙනසක් ඇති කළ දෙවියන්වහන්සේට සහ සෙසු අයට දයානුකම්පිත ආදරවන්තයෙකු මම දකිමි”. ඇගේ දෙනෙතෙට කඳුළු පිරෙනු දුටු විට “ඔබට ඔටුන්නක් අවශ්‍ය යැයි මම සිතමි” කියා මම කීවෙමි. ඇගේ අනන්‍යතාවය කිසිදා අමතක නොවන ලෙසට එදින දවල් කාලයේදී අපි මගේ මිතුරියට හරියන ඔටුන්නක් තෝරා ගත්තෙමු.

අපි යේසුස්වහන්සේව පෞද්ගලිකව දැන ගන්නා විට උන්වහන්සේ ප්‍රේමයෙන් අපට ඔටුනු පළඳවා උන්වහන්සේගේ දරුවන් ලෙසට අපව හඳුන්වන සේක (1 යොහන් 3:1). ඇදහිල්ලෙහි නොපසුබට උත්සාහය උන්වහන්සේ අපට ලබා දෙන්නේ “උන්වහන්සේගේ පැමිණීමේදී අප උන්වහන්සේ ඉදිරිපිට ලජ්ජා නොවී නිර්භීතකම ඇතුව සිටින පිණිසය” (2:28). උන්වහන්සේ අපව අප සිටින ආකාරයෙන්ම පිළිගන්නා නමුත් උන්වහන්සේගේ ප්‍රේමය අපව පවිත්‍ර කර අපව උන්වහන්සේගේ ස්වරූපයට පරිවර්තනය කරන සේක (3:2-3). අපව උන්වහන්සේට අවශ්‍ය බව තේරුම් ගැනීමටත් පසුතැවිලි වී පාපයෙන් ඉවත් වීමට දෙන බලය ගැන ප්‍රශංසා කිරීමටත් උන්වහන්සේ අපට උපකාර කරන සේක (3:7-9). උන්වහන්සේගේ සත්‍යය අපගේ හදවත් වල සඟවා අපගේ ජීවිතයෙහි උන්වහන්සේගේ ආත්මයේ අභිමුඛය තබා ගෙන අපට විශ්වාසවන්තව හා කීකරුකමෙන් ජීවත් විය හැකිය.

ඇත්ත වශයෙන්ම එදින මගේ මිතුරියට ඔටුන්නක් හෝ වෙනත් දෙයක් අවශ්‍ය වූයේ නැත. නමුත් අප දෙදෙනාටම දෙවියන්වහන්සේගේ ප්‍රේමණීය දරුවන් වශයෙන් අපගේ වටිනාකම සිහිපත් කර ගැනීමට අවශ්‍ය වුනි.