ලන්දේසි නිවෙස්වල බහුලව දක්නට ලැබෙන සැරසිලි සහිත නිල් සහ සුදු සෙරමික් ටයිල් (පිඟන් උළු) මුලින් සාදා ඇත්තේ ඩෙල්ෆ්ට් නගරයේය. මේවා බොහෝ විට නෙදර්ලන්තයේ හුරු පුරුදු දර්ශන නිරූපණය කරයි : එනම් පියකරු භූ දර්ශන, සෑම තැනම පවතින සුළං මෝල් සහ වැඩ කරන සහ සෙල්ලම් කරන මිනිසුන් යනාදි රූප වෙති.

දහනව වන සියවසේදී චාර්ල්ස් ඩිකන්ස් සිය “නත්තල් කැරොල්” නම් පොතේ මෙම උළු භාවිතා කර දේව වචනය කියා දුන් ආකාරය ගැන ලීවේය. ලන්දේසි ජාතිකයෙකු විසින් තැනු පැරණි ගිනි උදුනක් මත මෙම විචිත්‍රවත් ඩෙල්ෆ්ට් උළු සවි කර තිබූ ආකාරය ඔහු විස්තර කළේ මෙසේය : “මෙහි කායින් සහ ආබෙල්ද, ඵාරාවෝගේ දියණියන්ද, ෂෙබාහි බිසෝවරුද, අපෝස්තලුවරු මුහුදට යන ආකාරයද උළු වලින් සාදා තිබුණි”. බොහෝ පවුල්වල අය උණුසුම් වීමට ගින්නක් වටා එකතු වී බයිබලයේ කථා බෙදා ගත් බැවින් බොහෝ නිවෙස් මෙම උළු ඉගැන්වීමේ මෙවලමක් ලෙස භාවිතා කළහ. ඔව්හු දෙවියන්වහන්සේගේ චරිතය ගැන ඉගෙන ගත්හ. එනම් උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම, කරුණාවන්තකම සහ දයාව ගැන.

බයිබලයේ සඳහන් සත්‍යයන් අදටත් අදාළ වන්නේය. “අප විසින් ඇසුවාවූ දැනගත්තාවූ අපේ පියවරුන් අපට කියා දුන්නාවූ” අපේ අතීතයේ සැඟවුනු පාඩම් උගන්වන ලෙසට ගීතාවලිය 78 අපව දිරිගන් වන්නේය (2-3 පද). එය තවදුරටත් අපට අණ කරන්නේ “ස්වාමින්ගේ ප්‍රශංසාවත් ශක්තියත් උන්වහන්සේ කළ ආශ්චර්්‍යය ක්‍රියාත් මතු එන පරම්පරාවට ප්‍රකාශ කරන්න” කියාත් ඉන්පසුව ඔවුහු ”ඒවා ස්වකීය දරුවන්ට කියා දෙන පිණිසත්” ය කියාය (4-6 පද).

දෙවියන්වහන්සේට ලැබිය යුතු සම්පූර්ණ ගෞරවය සහ ප්‍රශංසාව ලබා දීමට අපි වෙහෙසෙද්දී සෑම පරම්පරාවකටම දේව වචනයේ සත්‍යයන් විදහා දැක්වීමට දෙවියන්වහන්සේගේ උපකාරයෙන් අපට නිර්මාණාත්මක හා ඵලදායී ක්‍රම සෙවිය හැකිය.