අගෝස්තු මාසයේ උණුසුම් සහ තෙත සහිත දවසක මගේ බිරිඳ අපේ දෙවෙනි පුතාව බිහි කළාය. නමක් ලබා දීමට අප වෙහෙසුණ අතර ඔහු නමක් නොමැතිව සිටියේය. අයිස් ක්‍රීම් අවන්හල් වල පැය ගණනාවක් ගත කර මෝටර් රථයේ දිගු ගමන් ගිය පසුවත් අපට එය තීරණය කළ නොහැකි වුනි. අවසානයේ මීකා ලෙස නම් කිරීමට පෙර ඔහු දින තුනක් “බේබි විලියම්ස්” ලෙස සිටියේය.

නිවැරදි නම තෝරා ගැනීම තරමක් කලකිරීමට හේතුවක් විය හැකිය. සෑම දෙයක්ම වෙනස් කිරීමට පැමිණී තැනන්වහන්සේට ඉතාම නිවැරදි නම දුන් දෙවියන්වහන්සේ ඔබ වූවා නම් කිසිම කලකිරීමකට පත් නොවී නමක් දිය හැකිය. යෙසායා අනාගතවක්තෘ තුළින් අහාස් රජුගේ ඇදහිල්ල ශක්තිමත් කිරීම සඳහා “ලකුණක්” ඉල්ලා සිටින ලෙසට දෙවියන්වහන්සේ පැවසූ සේක (යෙසායා 7:10-11). රජු ලකුණක් ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළද දෙවියන්වහන්සේ ඔහුට කෙසේ හෝ ලකුණක් දුන් සේක. “කන්‍යාව ගර්භණීව පුත්‍රයෙකු වදා එම්මානුවෙල් යන නම ඔහුට තබන්නීය” (14 පදය). දෙවියන්වහන්සේ දරුවාට නම තැබූ අතර උන්වහන්සේ බලාපොරොත්තු සුන්වීම තුළින් යන මිනිසුන්ගේ බලාපොරොත්තුවේ සංකේතයක්ද වනු ඇත. යේසුස් වහන්සේගේ උපත පිළිබඳ කථාව ලිවීමේදී මතෙව් එයට නව අරුතක් ලබා දුන්නේය (මතෙව් 1:23). යේස ුස් වහන්සේ “එම්මානුවෙල්” වනු ඇත. උන්වහන්සේ දෙවියන්වහන්සේගේ නියෝජිතයෙක් පමණක් නොව පාපය නිසා බලාපොරොත්තු සුන්ව සිටින ජනතාව ගළවා ගැනීමට පැමිණෙන මාංසයේ දෙවියන්වහන්සේද වන සේක.

දෙවියන්වහන්සේ අපට ලකුණක් දුන් සේක. එම ලකුණ නම් පුත්‍රයෙක්. එම පුත්‍රයාණන්ගේ නම එම්මානුවෙල්. එනම් දෙවියන්වහන්සේ අප සමගය. එය උන්වහන්සේගේ අභිමුඛය සහ ප්‍රේමය පිළිඹිබු කරන නමකි. අද උන්වහන්සේ අපට ඇරයුම් කරන්නේ එම්මානුවෙල් වැළඳ ගැනීමට සහ උන්වහන්සේ අප සමග සිටින බව දැන ගැනීමටය.