දිගු පැය ගණනක් සහ අසාධාරණ ලොක්කෙක් සමග ආතති සහගත රැකියාවක සිරවී සිටි ජේම්ස්ට එයින් ඉවත් වීමට සිතුණේය. නමුත් ඔහුට උගසක්, බිරිඳක් සහ රැක බලා ගැනීමට කුඩා දරුවෙක්ද සිටියේය. කෙසේ හෝ ඉල්ලා අස්වීමට ඔහු පෙළඹුන නමුත් “දෙවියන්වහන්සේ අපට දෙන දේ කුමක්ද කියා අපි බලාගෙන ඉමු” කියා ඔහුගේ බිරිඳ පැවසුවාය.

මාස ගණනාවකට පසුව ඔවුන්ගේ යාච්ඤාවලට පිළිතුරු ලැබුණි. ජේම්ස් තමා කැමති නව රැකියාවක් සොයා ගත් අතර තම පවුල සමග වැඩි කාලයක් ගත කිරීමට හැකියාව ලැබුණි. “එම මාස දිගු වුනි. දෙවියන් වහන්සේගේ සැළැස්ම උන්වහන්සේගේ කාලය තුළ සිදු වනු තුරු බලා සිටීම ගැන මම සතුටු වෙමි” කියා ඔහු මා සමග පැවසුවේය.

කරදර මධ්‍යයේ දෙවියන්වහන්සේගේ උපකාරය බලා සිටීම දුෂ්කරය. පළමුවෙන්ම අපේම විසඳුම් සෙවීමට උත්සාහ කිරීමට පෙළඹවීමක් ඇති විය හැකිය. ඊශ්‍රායෙල්වරුන් කළේත් එයමය. ඔවුන්ගේ සතුරන්ගේ තර්ජනය යටතේ දෙවියන්වහන්සේ වෙත හැරෙනවා වෙනුවට ඔව්හු ඊජිප්තුවෙන් උපකාර පැතූහ (යෙසායා 30:2). නුමුත් දෙවියන්වහන්සේ ඔවුන්ට පැවසුවේ ඔවුන් පසුතැවී උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබුවහොත් ඔවුන්ට ශක්තිය සහ ගැළවීම ලැබෙනු ඇති බවයි (15 පදය). ඇත්තෙන්ම උන්වහන්සේ පැවසුවේ “ස්වාමින්වහන්සේ නුඹලාට කරුණාකරන්ට බලා සිටින සේක” කියාය (18 පදය).

දෙවියන්වහන්සේ කෙරෙහි බලා සිටීමට ඇදහිල්ල සහ ඉවසීම අවශ්‍යයි. නුමුත් අවසානයේදී උන්වහන්සේගේ පිළිතුර දුටු විට එය වටිනා බව අපට වැටහෙනු ඇත. “උන්වහන්සේ ගැන බලා සිටින සියල්ලෝම වාසනාවන්තයෝය” (18 පදය). ඊටත් වඩා පුදුම සහගත දෙය කුමක්ද? අප උන්වහන්සේ වෙත පැමිණෙන තෙක් දෙවියන්වහන්සේ බලා සිටින සේක.