ජෝන්ගේ සෙම්ප්‍රතිශ්‍යාව නියුමෝනියාවට හැරුණු විට ඔහුට රෝහල් ගත වීමට සිදු වුනි. ඒ සමගම ඔහුගේ මව පිළිකාවක් සඳහා ඔහුට වඩා තට්ටු කිහිපයක් ඉහළින් ප්‍රතිකාර ලබමින් සිටි අතර ඇය ගැනත් ඔහුගේ ශරීර සෞඛ්‍ය ගැනත් ඔහු කරදර වුනි. පසුව නත්තලට පෙර දින රාත්‍රියේ “ඕ ශුද්ධවූ රාත්‍රිය” යන කැරොල් ගීතය ගුවන් විදුලියෙන් ප්‍රචාරය වෙද්දී දෙවියන්වහන්සේගේ සමාදානය පිළිබඳ ගැඹුරු හැඟීමක් ඔහුට ඇති වුනි. ආදරණීය ගැළවුම්කරුවාණන්ගේ උපත සිදුවූ රාත්‍රිය ගැන පැවසූ වදන් වලට ඔහු සවන් දුන්නේය.
“වෙහෙස වූ ආත්මය බලාපොරොත්තුවේ බලවත් ප්‍රීතියකින් සතුටු වෙන අතර අලුත් සහ මහිමවත් උදෑසනක් ඉදිරියේ උදා වන්නේය”. ඒ මොහොතේදී ඔහු සහ ඔහුගේ මව ගැන ඔහු තුළ තිබු කණස්සල්ල පහව ගියේය.

යෙසායා අනාවැකියෙන් පැවසු පරිදි අපට උපන් “ආදරණීය ගැළවුම්කරුවාණන්” වන යේසුස්වහන්සේ
“සමාදානයේ කුමාරයා” වන්නේය (යෙසායා 9:6). යේසුස්වහන්සේ මෙම අනාවැකිය සම්පූර්ණ කළේ
“මරහුගේ දේශයෙහිද සෙවණෙහිද හුන්නවුන්ට” (මතෙව් 4:16; යෙසායා 9:2) ආලෝකය සහ ගැළවීම ලබා දෙන පිණිස ළදරුවෙක් ලෙසට මෙලොවට පැමිණීමෙනි. උන්වහන්සේ තමන් ප්‍රේම කරන අයවලුන් දුෂ්කර තාවයන්ට සහ මරණයට මුහුණ දෙන විටදී පවා සමාදානය ලබා දෙන සේක.

රෝහලේදී යේසුස්වහන්සේගේ උපත ගැන කල්පනා කරමින් සිටියදී කිසි නුවණකින් දැන ගත නොහැකි වූ දෙවියන්වහන්සේගේ සමාදානය ජෝන් අත් වින්දේය (පිලිප්පි 4:7). නත්තල් සමයේදී ඔහු තම පවුලෙන් ඈත්වී එම රෝහල් කාමරයේ සිටිද්දී දෙවියන්වහන්සේ සමග සිදුවූ මෙම හමුවීම ඔහුගේ ඇදහිල්ල සහ කෘතඥතාවය ශක්තිමත් කළේය. සමාදානය සහ බලාපොරොත්තුව පිළිබඳ දෙවියන්වහන්සේගේ දීමනාවන් අපටත් ලැබේවා.