මගේ මිත්‍ර බිල් ඔහු හඳුනන කෙනෙකු වන ජෙරාඞ්ව විස්තර කළේ “බොහෝ කලක් දෙවියන්වහන්සේගෙන් ඈත්ව සිටි අයෙකු” ලෙසටයි. නුමුත් දිනක් බිල් ජෙරාඞ්ව හමුවී දෙවියන්වහන්සේගේ ප්‍රේමය ගැළවීම සඳහා අපට මාර්ගය සැපයූවේ කෙසේදැයි තේරුම් කිරීමෙන් පසුව ජෙරාඞ් යේසුස්වහන්සේ කෙරෙහි විශ්වාස කරන අයෙක් විය. කඳුළු මැදින් ඔහු තම පාපය ගැන පසුතැවිලි වී ක්‍රිස්තුස්වහන්සේට තම ජීවිතය කැප කළේය. පසුව ඔහුට හැඟෙන්නේ කෙසේදැයි බිල් ජෙරාඞ්ගෙන් විමසුවේය. කඳුළු පිසමින් ඔහු සරලව පිළිතුරු දුන්නේ
“සෝදනු ලැබුවෙහිය” කියාය.

මොන තරම් පුදුමාකාර ප්‍රතිචාරයක්ද! යේසුස්වහන්සේ අප වෙනුවෙන් කළ පරිත්‍යාගය කෙරෙහි විශ්වාසය තැබීම ගැළවීමේ හරයයි. 1 කොරින්ති 6 හි දෙවියන්වහන්සේට අකීකරු වීම උන්වහන්සේගෙන් වෙන්වීමට හේතු වන බවට උදාහරණ ලබා දීමෙන් පසු පාවුල් පවසන්නේ “නුඹලාගෙන් සමහරු එබන්දෝව සිටියෝය. නුමුත් ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්ද … නුඹලා සෝදනු ලැබුවහුය. ශුද්ධකරනු ලැබුවහුය. ධර්මිෂ්ඨ කරනු ලැබුවහුය” (11 පදය) කියාය. “නුඹලා සෝදනු ලැබුවහුය”. “ශුද්ධකරනු ලැබුවහුය”. ධර්මිෂ්ඨ කරනු ලැබුවහුය” යන වචන ඇඟිල්ල දිගු කරන්නේ සමාව ලැබ උන්වහන්සේ සමග නිවැරදිව සිටින ඇදහිලිවන්තයන් දෙසටය.

ගැළවීම නම් වූ මෙම ආශ්චර්යමත් දෙය ගැන තීතස් 3:4-5 දක්වා වැඩි යමක් පවසයි. “නුමුත් අපගේ ගැළවුම් කරුවාණන් වන දෙවියන්වහන්සේ ….. අප විසින්ම කළාවූ ධර්මිෂ්ඨකමේ ක්‍රියාවලින් නොව තමන්වහන්සේගේ දයාව ලෙස නැවත ඉපදීම නැමැති සේදීමෙන්ද…. උන්වහන්සේ අප ගැළවූ සේක”. අපගේ පාපය අපව දෙවියන්වහන්සේගෙන් වෙන් කරන නමුත් යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තුළින් පාපයේ දඬුවම සෝදා හරිනු ලැබේ. අපි නව මැවිල්ලක් වන්නෙමු (2 කොරින්ති 5:17). අපගේ ස්වර්ගික පියාණන්ට ළං වන්නෙමු (එපීස 2:18). එසේම පවිත්‍ර කරනු ලබන්නෙමු (1 යොහන් 1:7). සෝදනු ලැබීමට අවශ්‍ය දේ සපයන්නේ උන්වහන්සේ පමණක්මය.